Saturday, May 30, 2020

සෙංකඩගලපුර ශ්‍රී දළදා වරුණ

සැකසුම:සුරංගි වීරසේකර

7.2.1 කාර්ය පත්ත්‍රිකාව


මහනුවර ශ්‍රී දළදා මාළිගාව:


ශ්‍රී ලාංකික බෞද්ධයන් පමණක් නොව සකල ලෝකවාසි බෞද්ධයෝම ජීවමාන බුදුරජාණන් වහන්සේ ලෙස සලකා දළදා වහන්සේ වන්දාභිවන්දනයෙන් හා නන්විධ පූජාවෙන් පුදති. දළදා වහන්සේ යනු ජීවමාන බුදුරජාණන් වහන්සේ බවට බලවත් විශ්වාසයක් හා හැගීමක් බෞද්ධයන් අතර පවතී. මේ නිසාම රාජ්‍ය පාලකයන්ගේ පමණක් නොව පුරවැසියන්ගේත් අති උතුම් පූජා සංකේතයක් ලෙස දළදා වහන්සේ සම්භාවනාවට පාත‍්‍රවිය. රාජ්‍යත්වයේ සංකේතය මෙන්ම කලට වැසි ලබාදී රට සමෘද්ධිමත් කළහැකි විස්මිත බලයක් ඇති මහාර්ඝ වස්තුවක් ලෙස ද සැලකිණ.

                                                    දළදා වහන්සේ වැඩ සිටින රන් කරඬුව
                                               
දිනපතා තුන්වරු පූජාව, සතියේ බදාදා නානුමුර මංගල්‍ය පූජාව, පසළොස්වක පෝය දින පූජා හා වාර්ෂික සතර මංගල්‍ය පූජා, ආදි වශයෙන් බුදු පුද තේවා අදත් චිරාගත සාම්ප‍්‍රධායානුකූලව, ශ්‍රී දළදා වහන්සේ විෂයෙහි ශ්‍රී දළදා මාළිගාව තුළ අඛණ්ඩව පැවැත්වේ.
බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩක බඳු, මහනුවර ශ්‍රී දළදා මාළීගාව, විවිධ කාල වලදී ප්‍රතිසංස්කරණ වලට භාජනය වෙමින්,දෙවන විමලධර්මසුරිය රජ තුමා විසින් (ක්‍රි.ව.1687-1707), ගොඩනගා ඇති බව සඳහන් වේ. විචිත්‍ර ලෙස කැටයම් කළ, කුළුණු හා පේකඩ යටි පැත්තේ දැති කපා නිර්මාණය කළ පරාල,පියස්ස කෙළවර ඇති නෙත්ති උළු, ආදියෙන් අලංකාර කළ දළදා මැදුර කලාත්මක ගොඩනැගිල්ලකි. දළදා මාළිගාවට අයත් ගොඩනැගිලි සංකීර්ණයට, දළදා මැදුර,මගුල් මඩුව,පත්තිරිප්පුව,උල්පැන් ගෙය,දියතිලක මණ්ඩපය,මුලැදෑනි මන්දිරය, ආදී වශයෙන් නම්කල වාස්තු විද්‍යාත්මක නිර්මාණයන්‍ රැසක් අයත්වේ.

මෙම ගොඩනැගිල්ලේ සුවිශේෂී නිර්මාණ අංගය වන්නේ, අටස් හැඩැති (අට පට්ටම්) පත්තිරිප්පුවයි.එහි වටා පේශාවන් දැක්වෙන අතර,  කවුළු,කුළුණු,ගරාදී වැටවල් ක්‍රමාණකූලව නිර්මාණය කර ඇත. දළදා මාළිගාවට උදාර පෙනුමක් ලබාදෙන, මෙම පත්තිරිප්පුව නිර්මාණ ගෞරවය හිමිවන්නේ දේවේන්ද්‍ර මූලාචාරින්ටය.රටේ වැදගත් අවස්ථා වල රජතුමා පත්තිරිප්පුවේ සිට පහත චතුරශ්‍රයේ රැස්වූ මහජනයා ඇමතීම සඳහා යොදාගත් බව සඳහන් වේ.

පත්තිරිප්පුව

මගුල් මඩුව

වැඩසිටින මාළිගාව

 දළදා මාළිගාවේ සිතුවම් සඳහා ශිල්පියා විසින් යොදාගෙන ඇත්තේ, මහනුවර සම්ප්‍රධායට අයත් සිතුවම් වන, මල්කම්,ලියකම්,සත්වරූප,කල්පිතරූප හා මානව රූප ඇසුරින් කරන ලද නිර්මාණයන්‍ය. දළදා මැදුරේ පහත මාලයේ සීවිලිම දරන, ස්ථම්භ හා හරස් බාල්ක වල සිතුවම් වලින් උඩරට චිත්‍ර ශිල්පියා සතු කලා කෞෂල්‍ය මනාව නිරූපනය වේ.මේ අතර දක්නට ඇති නාරිලතා,පංචනාරි ඝඨය,නවනාරි කුඤ්ජරය,හංසපූට්ටු,මලින් කල ව්‍යාප්ත මෝස්තර,මල් බඳුනෙහි වීහිදෙන මල් ගහ,කිඳුරු රූප, ආදී නිර්මණයන් ඉතා විශිෂ්ඨය.සැරසිළි අතර බහුලව යොදාගෙන ඇති ලියවැල හා පලාපෙති මෝස්තර, විශිෂ්ඨ නිමාවකින්  සමන්විතය. සෑම සැරසිල්ලක්ම ශිල්පියා ලද ඉඩකඩ අනුව නිර්මාණයකර ඇත.
එසේම මහනුවර යුගයට අයත් විශිෂ්ඨතම සඳකඩ පහණ හමුවන්නේ දළදා මාළිගාවෙනි.යුගයට ආවේනික වන පරිදි, ත්‍රිකෝණාකාර හැඩයක් ගන්නා මෙම සඳකඩ පහණ මධ්‍යයේ, මදක් උස් වූ පද්මයකි.දෙපස ඇති මල් ලියකම්, මටසිලිටි සුන්දරත්වයකින් යුතු ආකාරයට කැටයමට නගා ඇත.



දළදා මාළිගාවේ ඇති සිතුවම් හා කැටයම් කිහිපයක් පහතින් දැක්වේ.







පේකඩ  කැටයමක්






මහනුවර යුගයේ සඳකඩ පහණ

ඇගයීම:
1.දළදා මාළිගාවේ ඓතිහාසික පසුබිම කෙටියෙන් පැහැදිළි කරන්න.
2.දළදා මාළිගාව ගොඩනගන ලද යුගය හා කාළය හඳුන්වන්න.
3. දළදා මාළිගාව විවිධ කාළ වලදී ප්‍රතිසංස්කරනණ වලට ලක්වූ අතර ඉහත කාළ පරිච්චේදය තුල ප්‍රතිසංස්කරණය කලේ කිනම් රජ තුමාද.
4.දළදා මාළිගාවට උදාර පෙනුමක් ගෙන දෙන සුවිශේෂී ගෘහ නිර්මාණාත්මක අංගය /ගොඩනැගිල්ල කුමක් ?
5.එම ගොඩනැගිල්ල කුමන හැඩයෙන් යුත්තද?
6.එය නිර්මාණය කිරීමේ ගෞරවය හිමිවන ශිල්පියා කවුද?
7.දළදා මාළිගාවට අයත් වාස්තු විද්‍යාත්මක අංග නම්කරන්න.
8.එම වාස්තු විද්‍යාත්මක නිර්මාණ වල සම්ප්‍රධාය නම් කරන්න.
9.එම වාස්තු විද්‍යාත්මක සැලසුම් හා ති අංග විස්තර කරන්න.
10.එම වාස්තු විද්‍යාත්මක නිර්මාණ සඳහා යොදාගත් මාධ්‍ය හා ශිල්ප ක්‍රම විස්තර කරන්න.
11. දළදා මාළිගාවේ සිතුවම් සඳහා බොහෝවිට යොදාගත් සැරසිළි කීපයක් නම් කරන්න.
12. දළදා මාළිගාවේ සඳකඩ පහණෙහි හැඩය හා එහි රූප ස්වභාවය  කෙටි හැඳින්වීමක් කරන්න.