Tuesday, May 19, 2020

6.3.1 ලාක්ෂා නිර්මාණ අගයමු.

 සැකසුම:සුරංගි වීරසේකර

6.3.1

ලාක්ෂා කලාව:
ලාක්ෂා යනු අප රටෙහි පාරම්පරික ජන කලාවකි. මහනුවර යුගයේදී ලාක්ෂා කර්මාන්තය වඩාත් ප්‍රචලිතව පැවති බවට සාධක පවතින අතර මෙම කාර්මිකයන් “ ඊවඩුවන්”  ලෙස හැඳින්වෙන අතර කොට්ටල් බද්ද නැමති රාජකීය කාර්මික කාර්යයේද යෙදී ඇත. ඔවුන් සඳහා වෙනම ප්‍රදේශයක් වෙන්ව තිබූ අතර එය “හංගිඩි වසම” යනුවෙන් හැඳින්වු අතර එම ශිල්පීන් “හංගිඩියන්” යනුවෙන් හැඳින්වේ.මෙම ශිල්පීන් චිත්‍ර විෂයෙහි හා නිර්මාණකරනයෙහි අති දක්ෂයන්වේ.
මෙම කර්මාන්තය සඳහා වඩාත් ප්‍රසිද්ධ වන්නේ මාතලේ-හපුවිද,තංගල්ල-අඟුල්මඩුව,මහනුවර-හූරිකඩුව,බලංගොඩ-පල්ලෙකන්ද යන ප්‍රදේශයන්ය.
ලාක්ෂා ලබාගන්නේ ලාක්ෂා නැමති කෘමින් විසින් නිපදවන ලාටු විශේෂයකිනි.
කෝන්,මසන්,කැප්පෙට්ටියා,තලකිරියා ආදී ගස්වල මෙම කෘමියා ජීවත්වන අතර අතු රිකිලි වල කෘමියා විසින් ලාටු තැන්පත් කරයි.ලාටු අඩංගු මෙම අතු රිකිලි කඩා පවනේ වේලා පිහියක් වැනි ආයුධයකින් සූරාගෙන එය පිරිසිඳු සිනිඳු රෙදි කඩක ඔතා තදින් ගැටගසා ලිපට ඉහළින් අල්ලා රත් කිරීමේදී උණුවන ලාක්ෂා මිරිකා ඉවතට ගනී.ඒවා නැවත රත්කොට කැබලි වලට කඩාගනී.

නූතන කාලයේ ලාක්ෂා කෘමින් වඳවී ඇති අතර, මේ සඳහා ආදේශකයක් වශයෙන් ඉන්දියාවෙන් ආනයනය කරගනු ලබන “සැලැක්” නම් වු අමුද්‍රව්‍ය භාවිතා කරන බව සඳහන් වේ.


ලාක්ෂා සඳහා යොදාගන්නා ප්‍රධාන වර්ණ හතරකි.එනම් රතු වර්ණය සාදිලිංගම් සමඟ මිශ්‍ර කිරීමෙන්ද, කළු වර්ණය පහන්දැලි හෝ කැකුණ දැලි සමඟ මිශ්‍ර කිරීමෙන්ද ,කහ වර්ණය හිරියල් සමඟ මිශ්‍ර කිරීමෙන්ද, කොළ වර්ණය කහ හිරිගල් හා නිල් පාට එකතු කර සාදාගනී.


 ගිනිසපු,ගංසූරිය හා මහෝගනී ලී යෙන් නිමවු දැවමය භාණ්ඩ වල මතුපිට අලංකාර කර ගැනීම සඳහා ලාක්ෂා භාවිතා කෙරේ.ලාක්ෂා කලාවේ කලාත්මක හා නිර්මාණාත්මක අංගය වන්නේ නිමවුම් භාණ්ඩ සඳහා ලාක්ෂා ආලේපනය හා සැරසිලි මෝස්තර යෙදීමේ ශිල්ප ක්‍රමයයි.
මෙහි ප්‍රධාන කොටස්  දෙකකි, එනම් නියපොතු වැඩ හා පට්ටල් වැඩ යනුවෙනි. නියපොතු වැඩ යනු ලංකාවට ආවේනික ක්‍රමයක් වූ අතර පට්ටල් වැඩ වෙනත් රටවලද දැකිය හැකිය.

නියපොතු වැඩ:
මෙය ලංකාවට පමණක් ආවේනිකවූ කලාවකි.මහපට ඇඟිල්ලේ නිය ආධාරයෙන් ලාක්ෂා නිර්මාණ කරණයේ යෙදීම නියපොතු වැඩ නම් වේ.අතින් ලාක්ෂා ගෑම හා ඔප මට්ටම් කිරීම මේවර වැඩ නම් වේ. නියපොතු වැඩ සඳහා වඩාත් ප්‍රසිද්ධ වන්නේ මාතලේ-හපුවිද ග්‍රාමයයි.
නිර්මාණ කරනයේදී වර්ණ දෙකක් එකතු කරමින් විවිධ පැති ආලේප කර මැදීම කලවම් මැදීම ලෙසද, එක් වර්ණයක් භාවිතයෙන් වර්ණ ගන්වා ඒ මත වෙනත් වර්ණයක් ආලේප කිරීම රත්කර මැදීම,වලිච්චි ගෑම නමින්ද හැඳින්වේ.භාන්ඩයක ලාක්ෂා අතින් නොගා, නියපොතු වැඩ නොකිරීම සම්ප්‍රධායික ක්‍රමයකි.මෙලෙස සැකසූ භාන්ඩයන්හි ලාක්ෂා කෙඳි මගින් සැරසිලි මෝස්තර යෙදීම නියපොතු වැඩ වල ප්‍රධානම කාර්යයි.
රත් කල ලාක්ෂා කැබැල්ල ඇඟිලි වලින් අල්ලා ඇදීමෙන් දික් කෙඳි සකස්කර ගතහැකිය.මෙසේ සකස් කරගත් කෙඳි මගින් “මේවර” කරන ලද භාණ්ඩ රත්කර ලාක්ෂා කෙඳි මහපට ඇඟිල්ලේ නියපොත්ත ආධාරයෙන් අලවා අභිමත මෝස්තර රටා නිරූපනය කොට හැඩ ගැන්වීම නියපොතු වැඩ නම් වේ.පසුව තල් කොළයක් ආධාරයෙන් මැද ඔපමට්ටම් කර ගනී.





භාණ්ඩ සඳහා කොඩි මිටි,සේසත් මිටි,වටාපත් මිටි,හෙල්ල මිටි,සැරයටි,උඩැක්කි කඳන් යොදාගන්නා අතර මෝස්තර සඳහා වැල්පොත,සරල රේඛා, ගල් බිංඳු,ලණු  දඟය,පතුර,බෝකොළ,පලාපෙති,කුන්දිරක්කන්,තනිපට ලණුව,දෙපට ලණුව,මුතු දැල, සුලිය ආදී මෝස්තර යොදාගනී.

පට්ටල් වැඩ:

දුම්බර-හූරිකඩුව, මාතර-අඟුල්මඩුව යන ප්‍රදේශ පට්ටල් වැඩ සඳහා ප්‍රසිද්ධය. වක්‍රාකාර භාණ්ඩ නිර්මාණය පට්ටල් වැඩ මගින් සිදුවේ.පට්ටලයක අල්ලන ලද භාණ්ඩය කැරකැවෙන විට, රත්කර ගත් එක් එක් වර්ණයෙන් යුත් ලාක්ෂා, තට්ටු එක පිට එක තවරා,පිති කෑලි මගින් මට්ටම් කොට, පසුව පොල්තෙල් තවරන ලද වැටකේ කොළයකින් හා රෙදි කැබැල්ලකින් ඔපදමා ගනුලබයි. ලාක්ෂා වර්ණ තට්ටු ආලේපනයේ ප්‍රමාණය අනුව වර්ණ සං‍යෝජනයෙන් කැටයම් කැපීම සිදුකරයි. කැටයම් සඳහා ලියවැල්,මල්වැල්,හංස පූට්ටුව ආදී මෝස්තර යොදාගනු ලබයි.



කැටයම් ගිල්ලවීමේ ශිල්ප ක්‍රමය යනු, ලියවන ලද භාණ්ඩය වැලිකඩදාසි අල්ලා මතුපිට සකස් කර, ඝන ලාක්ෂා තට්ටුවක් ආලේප කර,මට්ටම් කර, කැටයම් කටුව හෝ උල් කටුව භාවිතයෙන් කැටයම් කපා,මෝස්තර මත වෙනත් වර්ණ ලාක්ෂා තවරා මට්ටම් කිරීමයි.එවිට කැටයම් මත වෙනත් වර්ණ ලාක්ෂා ගිල්ලවේ.එලෙස මෝස්තර මතුකර ගැනීමෙන් පසුව,පොල් තෙල් තැවරූ රෙදි කෑල්ලකින් අතුල්ලා ඔපමට්ටම් කරගනී.

අළු බඳුන්, ආභරණ පෙට්ටි, බුලත් තට්ටු, කනප්පු, බීරළු ,මල් වාස් ආදී භාන්ඩ මේ මගින් අලංකාර කර ගනු ලබයි.













ලාක්ෂා කර්මාන්තය පිළිබඳ වීඩියෝ නැරඹීමට පහත දිගුව වෙත යන්න.

1.👉ලාක්ෂා කර්මාන්තය-1 වන කොටස
2.👉ලාක්ෂා කර්මාන්තය-2 වන කොටස
3.👉ලාක්ෂා කර්මාන්තය-3 වන කොටස

ඇගයිම:

1.ලාක්ෂා කර්මාන්තය සඳහා වඩාත් ප්‍රසිද්ධ ප්‍රදේශ නම් කරන්න.
2. ලාක්ෂා සාදා ගන්නේ කෙසේද?
3. ලාක්ෂා කර්මාන්තය සඳහා යොදා ගන්නා ප්‍රධාන ශිල්ප ක්‍රම හා ඒ පිලිබඳ විස්තරයක් කරන්න.
4. ලාක්ෂා භාවිතයෙන් අලංකාර කරන භාණ්ඩ කීපයක් නම් කරන්න.
5. ලාක්ෂා නිර්මාණ සඳහා යොදාගන්නා සැරසිළි කීපයක් නම් කරන්න.
6. ලාක්ෂා කර්මාන්තයේ යෙදී සිටින ශිල්පීන් හඳුන්වන්නේ කුමන නමකින්ද?
7.ඔවුන් ජීවත්වෙන ප්‍රදේශය හැඳින්වූයේ කුමන නමකින්ද?
8.ලාක්ෂා සඳහා යොදාගන්නා ප්‍රධාන වර්ණ හතර හඳුන්වා ඒවා සාදාගත් ආකාරය ලියා දක්වන්න.
9. ලාක්ෂා නිර්මාණ භාණ්ඩ සඳහා යොදාගත් ලී වර්ග 2ක් ලියා දක්වන්න.
10. ලාක්ෂා කෘමියා ජීවත්වූ ගස් වර්ග 3ක් නම් කරන්න.