Sunday, February 28, 2021

ඊජිප්තු මූර්ති හා චිත්‍ර නිර්මාණ


සැකසුම -කේ. වත්සලා සුභාෂිණී කුමාරි

7.4.1 ක්‍රියාකාරකම


  • අහස උසට නැගි මහා ස්මාරක පෙළක්ද , කඳුගැට ඇතුළට හාරා තැනූ දේවස්ථාන පෙළක්ද , සුවිශාල වූ මනුෂ්‍ය රූප මෙන්ම අලංකාර වූ සිතුවම් රාශියක්ද ලොවට දායාද කළ විශිෂ්ට වූ සංස්කෘතියක් නයිල් ගංගාධාරයේ ආරම්භ විය. ලෝකයේ ඉපැරණිම ශිෂ්ටාචාරයක් වූ මෙය ක්‍රි.පූ. 3000 - 30 අතර කාල පරාසයට අයත් වේ. ඉසුරුමත් වූත්, අද්භූත වූත්, ගුප්ත වූත්, කලාත්මක වූත්, මිසර ශිෂ්ටාචාරයේ ඇතැම් දේ අදටත් ලොවට අභිරහසකි.
  • පාරාවෝ රජ පෙළපතකින් මිසරය පාලනය කෙරුණි. කලාකරුවන්, එඩේරවරුන්, දඩයම්කරුවන්, වහලුන් ලෙසින්ද වැසියෝ දිවිපෙවෙත ගත කළහ. ඒ නිසා මෙම කලාවේ වැඩි වශයෙන් දක්නට හැකි වූයේ ස්වාධීන කලා කෘතීන්ට වඩා රාජකීයයන්ගේ නියමයෙන් බිහිවූ කලා කෘතිය. ඊජිප්තු පාරාවරුන්ගේ බල පරාක්‍රමය ලොවට කියාපාන පිරමීඩ, ගෘහ නිර්මාණ, චිත්‍ර මූර්ති, ආදී කලා නිර්මාණ ඉදිවූයේ එහි ප්‍රතිඵලයක් ලෙසය.
  • හිරු, සඳු මෙන්ම මරණින් පසු ජීවිතය පිළිබඳ තදින්ම ඇදහූ ජාතියක් ලෙස මිසර වැසියා හැඳින්විය හැකිය. මරණින් පසු ජීවිතය ඇදහීම නිසාම මළමිණි ආරක්ෂා කිරීමේදී ක්‍රමවේද ඔවුහු දැන සිටියහ. මෙම මළමිණි ‘මමි’ නම් විය. කල්පිත සංකල්ප මෙන්ම ජන ජීවිතයේ විවිධ සිද්ධි , රජවරුන්, බිසෝවරුන් හා සබැඳි සිද්ධි මිසර ගෘහ නිර්මාණ අතර දක්නට ලැබේ. අමර්ණා, ගීසා හා තීබ්ස් යන නගර ආශ්‍රිතව ඊජිප්තු නිර්මාණ රැසක් හමුවේ.
  • මිසර ශිෂ්ටාචාරයේ හමුවන වැදගත්ම වාස්තු විද්‍යාත්මක නර්මාණය වන්නේ පිරමීඩයයි. මොවුහු මළමිනි තැන්පත් කළ ස්ථානයේ බංකුවක හැඩය ගත් පස් ගොඩක් සකස් කළහ. එය හඳුන්වා ඇත්තේ මස්ටාබා නමිනි. මෙම මස්ටාබා ක්‍රමිකව විකාශනය වීමෙන් පසුව පිරමීඩ ඉදිවිය.


ඊජිප්තු මූර්ති

ස්පින්ක්ස් ( SPHINX)

  • මිනිස් හිසක් හා සිංහ ශරීරයකින් යුක්තය.
  • ක්‍රි.පූ. 2440 ට අයත් වේ.
  • කුෆූ පිරමීඩය ඉදිරිපිට පිහිටා ඇත.
  • උසින් අඩි 66ක් පළල අඩි 240 කි.
  • ඊජිප්තු කලාවේ සුවිශේෂ මූර්තියක් වූ ප්‍රධාන පිරමීඩය ඉදිරිපිට පිහිටි ( GRATE SPHINX) මහාස්පින්ක්ස් නම් මූර්තිය විශේෂය.
  • මිනිස් මුහුණක් සමඟ සිංහ ශරීරය එකට බද්ධ කිරීමෙන් සැකසුණු මෙම ‘ස්පින්ක්ස්’ ඊජිප්තු කලාවේ කල්පිත මූර්ති සඳහා දිය හැකි කදිම නිදසුනකි.
  • පාරාවරුන්ගේ තෙද බල පරාක්‍රමය මෙන්ම ආරක්ෂාව පිළිබඳ සංකල්පය නිරූපණය කරන බව විචාරක මතයයි
ලියන්නා හෙවත් ස්ක්‍රයිබ් ( SCRIBE)

  • ස්වාමියා පවසන දේ ලිවීමට සැරසී සිටින ආකාරය නිරූපිතය.
  • ඊජිප්තු මූර්ති කලාවේ පැරණි යුගයට අයත් නිර්මාණයකි.
  • ප්‍රංශයේ ලූවර් කෞතුකාගාරයේ තැන්පත් කර ඇති මෙය ඊජිප්තු මූර්ති කලාවේ විශිෂ්ට නිර්මාණයකි.
  • හුණු ගලින් කර ඇත.
  • අඩි 2ක් පමණ උස වූ මෙය ත්‍රිකෝණාකාර ආකෘතියකින් යුතුය.
  • මාධ්‍ය දැව වේ.
  • පූර්ණ උන්නත ශිල්ප ක්‍රමය භාවිතා කර ඇත.
  • ක්‍රිස්ටල් වර්ගයේ ගලින් ඇස්වල කුහර පුරවා ඇත.
  • ක්‍රි.පූ. 2600 - 235 අතර කාලයට අයත්ය.
  • සක්කාරා ප්‍රදේශයේ සොහොන් ගෙයකින් හමු වී ඇත.
  • ස්වාමියා පවසන යමක් ලිවීමට සැරසෙන බව විචාරක මතයයි.

නෙෆර්ටිටි (NEFERTITI)

  • ඊජිප්තු නව රාජධානි සමය හෙවත් අමර්ණා යුගයේ නිර්මාණය වී ඇත.
  • ක්‍රි.පූ. 1375 පමණ කාලයට අයත්ය.
  • ඊජිප්තු පාරා රජවරයෙකු වූ අක්නේටන් රජුගේ බිසව ලෙසට නෙෆර්ටිටි අධිරාජිණිය හඳුන්වයි.
  • උස අඟල් 20ක් වන මෙහි මාධ්‍යය හුණු ගල්ය.
  • ඊජිප්තු කලා නිර්මාණවල ඇති ශෛලිගත සම්ප්‍රදායෙන් මිදී ස්වභාවික ශෛලිය ලක්ෂණ මෙහි දැකිය හැකිය.
  • හිසෙහි පැළඳි විසිතුරු දිගැටි ඔටුන්න හා ගෙලෙහි පැළඳි මාලයේ අධරාජිණියක සතු තේජෝබල පරාක්‍රමය පෙන්වයි.
  • දැනට බර්ලින් කෞතුකාගාරයේ තැන්පත් කර ඇත.


ඊජිප්තු චිත්‍ර නිර්මාණ

මීඩම්හි පාත්තයෝ
  • එකා පසුපස එකා ගමන්කරන පාත්තයන් සමූහයක් දැක්වේ.
  • ක්‍රි.පූ. 2630 ට පමණ අයත්ය.
  • මෙය පැරණි රාජධානි යුගයට අයත් වේ.
  • මීඩම්හි මස්ටාබා වර්ගයට අයත් සොහොන් ගෙයකින් හමු වී ඇත.
  • පාත්තයන් හයදෙනා තිදෙනා බැගින් දෙපැත්තට එකා පසුපස ගමන් කරන අයුරක් පෙන්වයි. ඉදිරියෙන් දෙපසින් සිටින පාත්තයින්ගේ හිස බිමට නැඹුරු කරගත් ආකාරයට ඇඳ ඇත.
  • කළු, සුදු, දුඹුරු වර්ණවල විවිධ ප්‍රබේද මතුවන ලෙස යොදා ඇති අතර රේඛාකරණය මඟින් සියුම් ලෙස විස්තරාත්මකව හැඩ දක්වා ඇත.
  • බොහෝ විට පැතලි ක්‍රමයට වර්ණ යොදා ඇත.

කුරුළු දඩයම ( FOWLING SCENE)

  • ක්‍රි.පූ. 1580 - 1350 අතර කාලයේ නව රාජධානි යුගයට අයත් වේ.
  • තිබ්ස්වල නෙබාමුන් සොහොන් ගැබෙන් හමු වූ මෙය වර්ණ සිතුවමකි.
  • සිතුවමින් දැක්වෙන්නේ ඊජිප්තු වංශාධිපතියෙකු නෙබාමුන් නයිල් නදියේ ඔරුවක නැගී තම අත ඇති භූමරංගය භාවිතා කරමින් කුරුල්ලන් දඩයම් කරන ආකාරයයි. ඔහුගේ එක් අතක අල්ලාගත් පක්ෂීන් තිදෙනෙකි. සිතුවමේ දැක්වෙන කාන්තා රූප ඔහුගේ දියණිය හා භාර්යාව ලෙස අදහස් කෙරේ. පැපිරස් පඳුරු අතර දඩයම් බළලෙකු පාද වලින් පක්ෂින් දෙදෙනෙකුද කටින් තවත් පක්ෂියෙකුද අල්ලාගෙන සිටින ආකාරය දක්වයි.
  • වියළි බදාමය මත හෙවත් ප්‍රෙස්කෝ සිකෝ ශිල්ප ක්‍රමය භාවිතා කර ඇත.
  • රූප වර්ණ ගැන්වීමට අඳුරු කහ, රතු, සුදු, කළු ආදී වර්ණ භාවිතා කර ඇත.
  • චිත්‍රයේ පසුබිමේ හයිරොග්ලිපික්ස් ( Hieroglyphics) හෙවත් රූපාක්ෂර දැකිය හැක.
  • මානව රූප ශෛලිගත හා පාර්ශව දර්ශිව ස්වරූපයෙන් ඇඳ ඇත.
  • දැනට මෙය ලන්ඩනයේ බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තැන්පත් කර ඇත. 

ඊජිප්තු සිතුවම් අතර සටහන් කර ඇති හයිරොග්ලිපික්ස් ( Hieroglyphics) හෙවත් රූපාක්ෂර ලේඛනකරණයේ පළමු අවස්ථාව වශයෙන් අදටත් පුරාවිද්‍යාඥයින්ගේ ගවේෂණයට හා නිරික්ෂණයට ලක් වූවකි

මිසර සිතුවම්වල සුවිශේෂි ලක්ෂණ
  1. ද්විමාන බව හා පාර්ශවගත බව
  2. පැතලි ක්‍රමයට වර්ණ යොදා ඇත.

ඇගයීම: 7.4.1 ඊජිප්තු මූර්ති හා චිත්‍ර නිර්මාණ.

පහත දක්වා ඇති චිත්‍ර ඇසුරෙන් අසා ඇති ප්‍රශ්න සඳහා පිලිතුරු සපයන්න

1.


  1. හඳුනාගත් බව:..............................................
  2.  පිහිටි ස්ථානය:..............................................
  3. මින් හඳුන්වන දේ:........................................
  4. ශිල්ප ක්‍රමය:.................................................
  5.  අයත් යුගය:..................................................
  6. භාවිත කර ඇති වර්ණ:...................................
  7. දැනට දක්නට ලැබෙන ස්ථානය:...................
  8. මෙහි පසුබිමෙහි දක්නට ලැබෙන අක්ෂර විශේෂය:.........................................

2.

  1. හඳුනාගත් බව:..............................................................
  2. අයත් යුගය:..................................................................
  3. හමුවූ ස්ථානය:..............................................................
  4. භාවිතා කර ඇති වර්ණ:..................................................


3.

  1. හඳුනා ගත් බව:.............................................................
  2. හමු වූ ස්ථානය:.............................................................
  3. යුගය / කාලය:..............................................................
  4. මාධ්‍යය:.......................................................................
  5. ශිල්ප ක්‍රමය:.................................................................
  6. වර්තමාන ප්‍රදර්ශන ස්ථානය:..........................................