Monday, May 18, 2020

6.2.1. රූකඩ නිර්මාණ අගයමු.

සැකසුම:සුරංගි වීරසේකර

සම්ප්‍රදායක ජනකලා උරුමයන් අතර කැපීපෙනෙන රූකඩ කලාව ලංකාවේ ගැමි නාට්‍ය කලාවක් ලෙසද ප්‍රචලිතය. රූකඩ කලාව අතීත සංස්කෘතික උරුමයක් සේම, වර්තමානයේ ප්‍රසංගික කලාවක් ලෙස ජනප්‍රිය වී ඇත. ඉංග්‍රීසි භාෂාවෙන් “puppets” ලෙස ද සිංහලෙන් රූකඩ නමින් ද හැදින්වේ. මෙම රූකඩ නාට්‍ය කලාවක් ලෙස මෙරට ප්‍රචලිත වුයේ දැනට අවු: 300 කට පමණ පෙර වන අතර සම්ප්‍රධායික රූකඩ නාට්‍ය කලාව දකුණු ඉන්දීය ලක්ෂණ අනුව ලංකාවට ආවේනික අයුරින් නිර්මාණය විය.
ලංකාවේ සම්ප්‍රධායක රූකඩ නාට්‍ය කලාව සඳහා වඩාත් ප්‍රසිද්ධ වන්නේ අම්බලංගොඩ සහ බලපිටිය ප්‍රදේශයන්ය.මෙහි පුරෝගාමියා ලෙස සැලකෙන්නේ කන්දෙගොඩ විසු පොඩිසිරිනා ගුරුන්නාන්සේය.එම පරපුරෙන් පැවත එන පරපුර අද දක්වා රූකඩ නාට්‍ය රඟදක්වති.
රූකඩ වර්ග ප්‍රධාන වශයෙන් නූල් රූකඩ, රිටි රූකඩ, සෙවනැලි රූකඩ,අත් රූකඩ හා ඇඟිලි රූකඩ යනුවෙන් නිර්මානය කෙරේ.

නූල් රූකඩ (Thread Puppet) :
දැවමය රූකඩ නිර්මාණයේදි කදුරු හෝ රුකඅත්තන ලී භාවිතා කරයි. ඊට හේතුවුයේ ලීයෙහි ඇති සැහැල්ලු භාවය හා බරින් අඩුවීමයි.ශරීර අංගයන්හි නම්‍යශීලී තැන් බොහෝ දුරට අවධානය යොමුවන අතර චරිත ස්වභාවය අනුව ඇඳුම් ආයිත්තම් එක්කර නූල් දමා ඒවා හැසිරවීමේ ආධාරක(යතුරු පුවරු) මත අමුණා, අදාල රූකඩය රංගනය කෙරෙන අවස්ථාව වන විට වෙස්ගැන්වීම, ආලෝකකරණය, සංවාද, සංගීතය යෙදීම, වේදිකා සැරසිලි ආදිය සම්බන්ධ කරයි.සංකීර්ණ හැඩ ලබාගැනීම සඳහා නූල් 8,12,24 ක් ආදී වශයෙන් යොදනු ලැබේ.
රූකඩ රඟදැක්වීම සඳහා උස් වේදිකාවක් උපයෝගී කරගන්නා අතර දෙපස කෝණාකාර හැඩයක් ගන්නා පරිදි කොටස් 3කින් සමන්විතවේ.වේදිකාව පසුපස කළු තිර රෙදි එල්ලා තිබේ.වේදිකාව පිටුපස අඩි 6ක් පමණ උසට වැටක් සාදා ඊට පිටුපසින් සාදාගත් වේදිකාවේ සිට රූකඩ නැටවීම සිදුකරයි.
රූකඩ නාට්‍ය සඳහා බොහෝ විට යොදා ගන්නේ ඓතිහාසික කතා අතර ඇහැලේපොළ, සිරිසඟබෝ, කාලගෝල, අංගුලිමාල කථා සහ වෙස්සන්තර ජාතකය යන කථාවස්තූන්ය. මෙම නාට්‍ය වල ගුණාත්මකභාවය රඳා පවතින්නේ පසුබිම් ගායනය, ගීත දෙබස්, ආලෝකකරණය වැනි අංග කලාත්මකව යොදාගන්නා ආකරය අනුවයි. මෙම නාට්‍ය වල ගායනය කරනු ලබන්නේ නූර්ති හා නාඩගම් ගීත වන අතර ඒවා ගායනය හා දෙබස් නාට්‍ය ශිල්පීන් විසින් කරනු ලබයි. බොහෝවිට වෙසක් පොසොන් ගම්මඩු වැනි ආගමික උත්සව වලදී රූකඩ සංදර්ශන දැකිය හැකි අතර රූප, ශබ්ධ, වර්ණ යනාදිය පදනම් කරගෙන ලී කැබලි කීපයක් කිසියම් ‍රංගනයක් බවට පෙරලා ඒ තුලින් ප්‍රේක්ශකයා තුලට පණිවිඩයක් දීම රූකඩ කලාවේ ඇති ප්‍රභලතම සන්නිවේදනයයි.




නූල් රූකඩ නැටවීමේ ශිල්ප ක්‍රමය ගැන දැනුමක් ලබාගැනීමට පහත කෙටි වීඩියෝ නරඹන්න.

Play video:   1.👉නූල් රූකඩ නැටවීම-1
                                2.👉නූල් රූකඩ නැටවීම-2

රිටි රූකඩ (Club Puppet) :
ප්‍රාග් ඓතිහාසික යුගයේ සිට ආරම්භ වූ අතර දිග රිටක් මත හිස්කබලක් හෝ වෙස්මුහුණක් සවිකර සිරුර දෙපසට පිදුරු,වැල් හා වෙනත් වියලි කොළ කලාත්මක ලෙස සැරසිලි කෙරේ.
ලොකු රිටි,මධ්‍යම රිටි,කුඩා රිටි යනුවෙන් විවිධ උසින් හා විවිධ සැරසිලි වලින් නිර්මාණය කෙරේ. පසුව රිටි රූකඩයට අත් දෙකක් සවිකර අත් දෙකට කෝටු දෙකක් සවිකරන ලදී.රිටි රූකඩයට යටින් ශක්තිමත් නූල් දමා ඉරියව් මතුකිරීම මෙහි ලක්ෂණයයි.


සෙවනැලි රූකඩ (Shadow Puppet) :
සෙවනැලි රූකඩ යනු රූකඩ රුවක් හා සමානය. එය අතින්ම ලක්ෂණ මතු කිරීම මගින් නිර්මාණය වේ. කළු ආලෝකය මත රූකඩයේ සැඟවුණු රංඟනයක් මත ක්‍රියාත්මක වන රූකඩයකි. පරාක්‍රමභාහු රජ සමයේ තිබූ බව සඳහන්වේ.මුල් අවධියේදී පීනික්ස් ගසේ කොළත්, පසුව සේද කඩදාසිද භාවිතා වූ බව සඳහන්වේ. සෙවනැලි රූකඩ ශිල්පය අතිශය සියුම්වත් ,කලාත්මකවත් කලයුතු වේ.

    


සෙවනැලි රූකඩ අතරින් ඉතා පහසුවෙන්ම කළ හැකි විනෝදයට අවශ්‍ය හොඳ තේරීමක් වන ඉතා සරල හැඩ අත්හදා බැලීමට ද හැකිය. ඇඟිලි මගින්ද සෙවනැලි රූකඩ බවට පත්කර ගන්නා ආකාරය පහත රූපසටහන මගින් නිරීක්ෂණය කර ගත හැක.

    












අත් රූකඩ (Hand Puppet ) :
ඉතා පහසුවෙන් ලබාගත හැකි අමුද්‍රව්‍ය මගින් අත් රූකඩ නිර්මාණය කරගත හැක. රෙදි කැබලි, අත් මේස්, බොත්තම්, පබළු, නූල්, මැලියම්, කම්බි වැනි විවිධ ද්‍රව්‍ය උපයෝගී කරගෙන මේවා නිර්මාණය කරනු ලබන අතර මෙහි අද්විතීය යාන්ත්‍රනය හිමිවන්නේ අතටමය.අත් හා ඇඟිලි රිද්මිකව රංගනයේ හා රංගනකරනයේ යෙදවිය හැකිය.






ඇඟිලි රූකඩ (Finger Puppet) :
රෙදි කැබලි, බොත්තම්, පබළු, නූල්, මැලියම්, කම්බි වැනි විවිධ ද්‍රව්‍ය මේ සඳහා භාවිතා කල හැකි වේ. ඇඟිලි මඟින් රූකඩ හසුරවනු ලැබේ. ඇඟිලි රිද්මිකව රංගනයේ යෙදවිය හැකිය.






ඇගයීම:
1.   රූකඩ කලාව අතීත සංස්කෘතික උරුමයක් සේම එය වර්තමානයේ වර්ධනය වී ඇත්තේ කුමන කලාවක් ලෙසද?
2.   රූකඩ කලාව මාධ්‍ය හා ක්‍රියාකරවීම අනුව වර්ග කල හැකි අතර ඉතා ජනප්‍රිය රූකඩ වර්ග 5ක් නම් කරන්න.
3.   ලංකාවේ පාරම්පරිකව පැවත එන ඉතා ජනප්‍රිය රූකඩ වර්ගය කුමක්ද?
4.   රූකඩ සඳහා යොදා ගන්නා ඓතිහාසික කතා කීපයක් නම් කරන්න.
5.   අතීතයේ සිටම ගැමි ජනතාව විසින් රූකඩ සංදර්ශන පැවැත්වූයේ කුමන උත්සව අවස්ථා වලදීද?
6.   රූකඩ නිර්මාණ වල ගුණාත්මක හා කලාත්මක බව සඳහා පසුබිම සකස් කර ගත්තේ කෙසේද?
7.   රූකඩ නිර්මාණ සඳහා යොදාගත් අමුද්‍රව්‍ය කීපයක් නම් කරන්න.