Friday, February 19, 2021

වෙසක් උත්සවය ආශ්‍රිත කලා අංග රස විඳිමු.

සැකසුම - අශානි රත්නසූරිය


6.1.1 ක්‍රියාකාරකම


  • ශ්‍රී ලාංකික අපට වගේම ලෝකවාසී බෞද්ධ ජනයාට ඉතා පූජනීය,උතුම් දිනයක් ලෙස වෙසක් පෝය දිනය හැඳින්විය හැකිය.එමෙන්ම වෙසක් උත්සවය බෞද්ධ අපගේ ප්‍රධානතම උත්සවයයි.
  • සදුහත් කුමරුගේ උත්පත්තිය,බුද්ධත්වයට පත්වීම,පිරිනිවන් පෑම යන තෙමඟුල සිහි කිරීම සඳහා මෙම උත්සවය පවත්වයි.
    


  • බෞද්ධ පූජනීය ස්ථාන මුල් කරගෙන අප වෙසක් උත්සවය සමරයි.
  • ඈත අතීතයේ පටන් මෙම උත්සවය සැමරීම සඳහා ජනයා විවිධාකාරයෙන් සූදානම් වේ.
  • වෙසක් උත්සවය වෙනුවෙන් සිදුකරනු ලබන පිංකම් මගින් මිනිසුන් තුළ සහයෝගීතාවය හා එක්සත්කම වැනි ආකල්ප වර්ධනය වේ.සමඟියෙන් වැඩ කිරීම,එකමුතුව වැඩ කිරීම,දුකසැප බෙදාහදා ගැනීම අතීතයේ සිට ජනතාව පුරුදු වී සිටි යහපත් ආකල්ප හෙවත් යහපත් සිතුවිලි වේ.
  • වෙසක් උත්සවයේදි ප්‍රධාන පූජාවන් දෙකක් සිදුකරනු ලබයි.එනම්,ආමිස පූජා හා ප්‍රතිපත්ති පූජා වේ.
  • ආමිස පූජා යනු බුදුන්වහන්සේ පිදීමට ද්‍රව්‍යමය වශයෙන් හෝ බාහිර අලංකරණයෙන් කරනු ලබන පූජාවන් වේ.උදා: (ආලෝක පූජා,ශබ්ද පූජා)තොරණ,පහන් කූඩු ,පෙරහැර ,පහන් වැටි,බල්බ් වැල්,කොඩි ආදි නිර්මාණ අංග


                                                                                තොරණ


 
පහන් කූඩු

 

                                                                         පහන් සැරසිලි

                                 බෞද්ධ කොඩි                                

  • ප්‍රතිපත්ති පූජා යනු බුදුන්වහන්සේගේ ධර්මයට අනුව හැසිරෙමින් ක්‍රියා කිරීමයි.
  • උදා:සිල් රැකීම ,දන් දීම,ධර්ම ශ්‍රවණය,පිරිත් සජ්ජායනය,තුණුරුවන් වන්දනය.


                                                               සිල් රැකීම

                                                                   ධර්ම ශ්‍රවණය

                                                                 දන් දීම                                    

  • බෞද්ධ ජනතාව තම නිවෙස් විවිධ වෙසක් සැරසිලි වලින් අලංකාර කරයි.එම සැරසිලි කිරීමේදී ටිෂු කඩදාසි ,ගොක් කොළ ,වර්ණ කඩදාසි ,ඉරටු ,පොල්කටු ආදි විවිධ ද්‍රව්‍ය භාවිතා කරයි.
  • සුභ පැතුම්පත් ද හුවමාරු කරගනි.
  • මිදුලේ විවිධ හැඩතල ඇඳ ඒ අනුව පහන් තබා දැල්වීමෙන් හා සකස් කරන පහන් වැටි ආශ්‍රිත අලංකාර පහන් සැරසිලි අංග නිර්මාණය කර ගනියි.
  • වෙල් කදුරු ගෙඩි හා නාවා ගස් වල ගෙඩි ආදිය ද පහන් සඳහා විකල්ප ක්‍රම ලෙස භාවිතා කරයි.
  • තවද වෙසක් උත්සවය විවිධ ජාතීන්ගේ නිර්මාණ රසඥතා වර්ධනය කරගැනීම සඳහා පාදක වේ.

 

ඇගයීම: 6.1.1 වෙසක් උත්සවය ආශ්‍රිත කලා අංග රස විඳිමු.

  1. බුදුන් වහන්සේගේ තෙමඟුල නම් කරන්න.
  2. වෙසක් උත්සවය විචිත්‍රවත් කරන සැරසිලි තුනක් නම් කරන්න.
  3. වෙසක් සැරසිලි සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍ය කිහිපයක් නම් කරන්න.
  4. වෙසක් තොරණ නිර්මාණය කිරීම සඳහා යොදා ගන්නා තේමාවන් කවරේද?
  5. මැටි පහන් සඳහා භාවිතා කළ හැකි විකල්ප ද්‍රව්‍ය කවරේද?
  6. ඔබ විසින් වෙසක් සුභ පැතුම් පතක් නිර්මාණයේදී භාවිතා කළ ද්‍රව්‍ය පහක් නම් කරන්න.
  7. වෙසක් සුභ පැතුම්පතක් නිර්මාණය කරන්න.
  8. "වෙසක් උත්සවයට සැරසෙන අපි " තේමාව යටතේ චිත්‍රයක් සංරචනය කරන්න.