Friday, February 26, 2021

පුවත්පත් චිත්‍රකතා ශිල්පීන්ගේ නිර්මාණ

 සැකසුම - සාරංග කරුණාරත්න

  6.6. ක්‍රියාකාරකම


  • ප්‍රවෘත්ති පත්‍ර ඔස්සේ චිත්‍රකතා සම්ප්‍රදාය ලොවට බිහිවිය දහනව වැනි සියවසේ බටහිර චිත්‍ර කතා ආරම්භ වූයේ ඇමරිකානු ප්‍රවෘත්ති පත්‍ර වල පළවූ (caricature) කැරිකේචර් සහ කාටුන් ඔස්සේය.පසුකාලීනව චිත්‍රකතා තාත්විකත්වය ට නැඹුරු වුවද මුල්කාලීන ඒවායේ කාටුන් ස්වරූපයකට හෙවත් හාස්‍යෝත්පාදක ස්වරූපයක් විය.
  • ශ්‍රී ලංකාවේ ප්‍රථම චිත්‍ර කතාව පළ වූයේ 1952 ඔක්තෝම්බර් 28 වැනි ඉරිදා ලංකාදීප පත්‍රයේය.එය “නීලා” නම් විය.
  • මෙහි චිත්‍රකතා ශිල්පියා වූයේ ජී. ඇස් .ප්‍රනාන්දුය. මෙසේ “නීලා” චිත්‍ර කතාවෙන් ඇරඹි මෙරට පුවත්පත් චිත්‍ර කලාව ජනතාව අතර දැඩි ජනප්‍රියත්වයට පත්විය. සුසිල් ප්‍රේමරත්න වැනි ජනප්‍රිය ශිල්පීන් මෙන්ම පසුකාලීනව බොහෝ චිත්‍රකතා ශිල්පීන් ගණනාවක් ක්ෂේත්‍රයට පිවිසුණි. ඔවුන් අතර විවිධ ප්‍රවණතා දක්ෂතා පෙන්වූ පුරෝගාමී ශිල්පීන් ලෙස බන්දුල හරිශ්චන්ද්‍ර ,දයා රාජපක්ෂ ආදී චිත්‍රකතා ශිල්පීන් ක්ෂේත්‍රය තුළ බොහෝ ජනප්‍රිය විය.
  • ප්‍රවෘත්ති පත්‍රවල චිත්‍රකතා පළවීම වෙනුවට පසුකාලීනව චිත්‍රකතා පත්තර බිහිවූ අතර “සිත්තර” නමින් 1975 දී ප්‍රථම චිත්‍ර කතා පත්තරය බිහිවිය.
  • මෙසේ ආරම්භ වූ චිත්‍රකතා පත්‍ර කලාවට සතුට, චිත්‍ර මිත්‍ර, සසර විශ්ම, ආදී චිත්‍ර කතා පත්තර රාශියක් පසුකාලීනව එකතු විය. චිත්‍ර කතා කලා සම්ප්‍රදාය රූපවාහිනිය මාධ්‍ය ආරම්භයත් සමඟ ජනප්‍රියත්වයෙන් ගිලිහුණ ද වර්තමානයේ දී ද පළවන පුවත්පත් වල ඉතා සුළු වශයෙන් චිත්‍රකතා නිර්මාණ දැකගත හැකි වේ.


චිත්‍ර කතා ශිල්පීන්




බන්ධුල හරිශ්චන්ද්‍ර

 


  • 1940 මැයි24 දින පාණදුර කෙසෙල්වත්තේ දී උපන් දොම්පේ ගේ බන්ධුල හරිශ්චන්ද්‍ර පීරිස් පාණදුර කෙසෙල්වත්තේ ශ්‍රී ජීන ධර්මදාන විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබුවේ ය. පසුකලක රජයේ ලලිත කලායතනයෙහි සති අන්ත පාඨමාලාව හදාරා ඇති මොහු කෙසෙල්වත්ත ශ්‍රී ධර්මදාන විද්‍යාලයේ ස්වේච්ඡා ගුරුවරයකු ලෙස ලෙස චිත්‍ර විෂය ඉගැන්වීය. තවද මොහු විසින් පානදුරේ තොරණේ චිත්‍ර ඇඳීමට ද දායක වී ඇත.
  • පුවත්පත් චිත්‍රකලාව ජනප්‍රියව තිබූ ඒ අවදියේ ඒ පිළිබඳව කැමැත්තේන් චිත්‍රකථා ඇඳීමට යොමු වූ ඔහු 1962 ලේක්හවුස් ආයතනයේ දිනමිණ පුවත්පතට එක් දිනකින් අවසන් වන ජාතක කතා ඇඳීම ආරම්භ කළේය.ඔහු “සුලසා” ජාතකයේන් පටන්ගෙන ජාතක කතා 38ක් පමණ ඇදි අතර ඒවා සෑම සඳුදාවකම දිනමිණ පත්‍රයේ පළ විය.
  • ශ්‍රී ලංකාවේ ප්‍රථම වර්ණ චිත්‍ර කථාව ලෙස “නල දමයන්ති” නිර්මාණය කිරීමේ ද ගෞරවය ඔහුට හිමි වේ. මෙරට චිත්‍ර කතා ක්ෂේත්රය සම්භාව්‍ය තලයකට ඔසවා තැබීමට බන්ධුල හරිශ්චන්ද්‍රයන් සමත්වූ බව ඔහුගේ නිර්මාණ තුළින් මනාව පැහැදිලි වේ. ඔහුගේ චිත්‍ර කතාවන්ට බොහෝ විට පාදක වූයේ ජාතක කතා, බෞද්ධාගමික කතා, බයිබල් කතා ,ඓතිහාසික කතා ,මහා භාරත කතා, ග්‍රීක වීරකාව්‍ය ,අරාබි නිසොල්ලාසය හා ජපන් සෙන් කතා ආදියයි.
  • චිත්‍ර කතා නිර්මාණය කිරීමේදීද සම්භාව්‍ය සාහිත්‍යය ඒ හා බද්ධ කිරීමේ හැකියාව ඔහුගෙ නිර්මාණ ඇසුරෙන් හඳුනාගත හැකිය. බන්ධුල හරිශ්චන්ද්‍ර යන්ගේ සිය ගණනක් වූ චිත්‍ර කතා මාලාවට පසුබිම් වූ එකිනෙකට වෙනස් වූ භූගෝලීය පරිසර ද චරිත කාලවකවානු සංස්කෘතීන් දෙස බලන කල ඔහුගේ පරිකල්පන ශක්තිය කෙතරම් විශ්මිත දැයි ප්‍රත්‍යක්ෂ වේ.
  • ජීව රූප ඇඳීමේ විශිෂ්ට වූ මනා හැකියාවක් මෙන්න විවිධ පරිසර පද්ධතිද විවිධ පරිසර වල භූගෝලීය ලක්ෂණ ද මිනිස්සුන්ගේ දේහ ලක්ෂණ ඇඳුම් පැලඳුම් ආභරණ ආදිය ඉතා නිවැරදිව චිත්‍රණය කිරීමේ හැකියාවක් බන්දුල හරි චන්ද්‍රයන් තුළ පවත්නා බව ඔහුගේ චිත්‍රකතා සමූහය නිරීක්ෂණයෙන් පැහැදිලි වේ.


දයා රාජපක්ෂ


  • වර්ෂ 1941 දෙසැම්බර් මස 12 දින කළුතරදී උපත ලැබූ බෙන්තර මහකුමාරගේ දොන් දයා රාජපක්ෂ මහතා හැදී වැඩුණේ උඩරට විදුලිපුර නම්ගම්මානයේය. ලක්ෂපාන කිරිවන් එළියෙ රජය පාසලින් ද නාවලපිටිය අනුරුද්ධ විද්‍යාලයෙන්ද ගිනිගත්හේන මධ්‍ය මහා විද්‍යාලයෙන් යන පාසල් කීපයකින් අධ්‍යාපනය ලැබූ මෙතුමා විසින් චිත්‍ර කලාව හදාරන ලදී. පාසල් අධ්‍යාපනය අවසන් කිරීමෙන් පසු නාමපුවරු පින්තාරු කරමින් මඟුල් පෝරු නිර්මාණය කරමින් තම කලා කටයුතු ඉදිරියට කරගෙන ගිය මෙතුමා එවකට චිත්‍රකතා කලා ශිල්පියෙකු වූ සුසිල් ප්‍රේමරත්නයන්ගේ චිත්‍ර කතා පිටපත් කරමින් තම ශිල්පීය හැකියාව වර්ධනය කර ගන්නා ලදී.
  • මෙලෙස තම හැකියාව වර්ධනය කර ගත් මෙතුමාට පුවත්පත් චිත්‍ර කලාව ගැන ඇල්මක් ඇති වූ අතර ප්‍රථමයෙන් ඉංග්‍රීසි කෙටි කතාවක් ඇසුරෙන් සිය ප්‍රථම චිත්‍ර කතාව අඳින ලදී.එම චිත්‍රකතාව සිළුමිණ පුවත්පත තැපැල් කර එවීමෙන් පසු 1967 දෙසැම්බර් 01 සිට “ඉන්දු” නමින් සිළුමිණ පුවත්පතේ පළවිය. මෙසේ චිත්‍රකතා ශිල්පියකු ලෙස තහවුරු වූ දයා රාජපක්ෂ මහතා 1904 දී දිනමිණ පුවත්පතේ දිනපතා පළවූ “ආදර කොමා” නම් චිත්‍රකතාව නිර්මාණය කරමින් ඉමහත් කීර්තියට හා ජනප්‍රියත්වයට පාත්‍ර විය.
  • චිත්‍ර කතා සිය ගණනක් නිර්මාණය කර ඇති මෙතුමා විසින් සිළුමිණ, දිනමිණ, නවයුගය, සරසවිය ,මිහිර, සතුට, ලංකාදීප, ඉරිදා ලංකාදීප, යන පුවත්පත් ගණනාවකටම තම සේවය සපයා ඇත

දයා රාජපක්ෂ විසින් නිර්මාණය කර ඇති පුවත්පත් චිත්‍ර
  • සිළුමිණ පුවත්පත - නලා හඬ, වානරයෝ, වීනා ,අනූපමා ,නිසංසලා ,අහිමි දඩමන්, වෙදහාමුදුරුවෝ, පොඩි මාමා, සක්විති සුවය.


  • සරසවිය පුවත්පත - ළැව්ගිනිදැල්, හුලවාලි, බාදුරාමල්, තවලම




  • සතුට පුවත්පත - රක්තා, නිළියකට පෙම් කළෙමි, සක්මන් මළුව, සිව් මංසල


නවයුගය පුවත්පත - මැකී ගිය සිතුවම්

  • මෙම සිතුවම් අතරින් ‘’අනුපමා’’ හා ‘රක්තා’’ යන කතා විදේශීය සංස්කෘතියේ ආභාෂය ලැබුව ද සෙසු චිත්‍ර කතා සියල්ලම පාහේ ස්වතන්ත්‍ර නිර්මාණයන් වේ. ඔහුගේ චිත්‍ර කතා වල වස්තු විෂය වූයේ නාගරික,අර්ධ නාගරික, ගැමි ජන කොටස් හා සම්බන්ධ කතා තේමාවන්ය. විවිධ සමාජ කණ්ඩායම් වලට අයත් මානව චර්යා හා ඔවුන්ගේ සියුම් මානව ගුණාංග ඔහුගේ චිත්‍ර කතා වල මනාව නිරූපණය විය. නිරූපණාත්මක ශෛලියකින් යුක්තව ඇඳීම මෙන්ම චරිත නාටකීය ස්වරූපයකින් නියම කර ඇත.
  • දයා රාජපක්ෂයන්ගේ නිර්මාණ අතර ගිනිබත් කිරීටය චිත්‍ර කතාව රූපමය නිරූපණය භාෂාව හැසිරවීම හා අන්තර්ගත කතා තේමාව සමග සමාජ වටිනාකම් දක්වන ප්‍රශස්ත නිර්මාණයක් ලෙස සැලකිය හැකිය. සමාජ දේශපාලන ගැටුම් පිළිබඳ විවරණයක් කිරීමට මෙම කතාව තුළින් ඔහු උත්සාහ ගෙන ඇත.
  • චිත්‍ර කතාවක භාෂා ශෛලිය මෙන්ම චිත්‍රමය ප්‍රකාශනය වැදගත් අංගයක් කොට සැලකිය හැකි අතර මොහුගේ චිත්‍රකතා වල ඉදිරිපත් කරන ලබන චිත්‍රමය සංරචන ක්‍රමය නාටකීය ගතිලක්ෂණ වල ප්‍රබලත්වය සුවිශේෂී ලක්ෂණයක් ලෙස දැක්විය හැකිය. ජීව රූප ඇඳීමේ විශිෂ්ට හැකියාවක් මෙන්ම නාගරික පරිසර වල මිනිස්සුන්ගේ දේ හා චරිත ලක්ෂණ ඇඳුම් පැළඳුම් ආදිය ඉතා නිවැරදිව චිත්‍රණය කිරීමේ හැකියාවක් ද මොහුගේ චිත්‍ර තුළ තිබූ බව නිර්මාණ තුළින් පැහැදිලිව දක්නට ලැබේ.



  • ඔහුගේ කලු සුදු වර්ණයන්ගෙන් නිමවූ චිත්‍ර කතාවක් තුළ වුවද චිත්‍රමය ප්‍රකාශනයේ ඉතාමත් ප්‍රබලව දක්නට ලැබේ. තේමාවට අදාළව විවිධ කෝණයන් ගේ සිට මානව රූප සියලු හැඩතල වලට සංවිධානය කිරීමටද තේමාවට අදාළව විවිධ පුද්ගලයන්ගේ මනෝභාවයන් සරල රේඛා වර්ණ මගින් ඉදිරිපත් කිරීමට දයා රාජපක්ෂයන් සමත් වී ඇත
  • දයා රාජපක්ෂයන්ගේ චිත්‍ර කතා තුළ ඇති සුවිශේෂී බව නිසාම සිංහල චිත්‍ර කතා වංශකතාවේ අමරණීය සලකුණ ලෙස ද ඔහුව හඳුන්වා ඇත.








ජනක රත්නායක


  • චිත්‍ර කලාව පිළිබඳව සහජ කුසලතාවයක් හෙබි පුද්ගලයකු ලෙස ජනක රත්නායක හැඳින්විය හැකිය.70 දශකයේ චිත්‍ර කලා ක්ෂේත්‍රයේ ස්වර්ණමය යුගය ලෙස හැඳින්විය හැකි අතර එම වකවානු තුළ නව නිර්මාණාත්මක ශෛලියකින් ක්ෂේත්‍රයට පිවිසි ශිල්පියෙකි.1971 වසරේ සිට 1979 වසර දක්වා කාල වකවානු තුළ ජනක රත්නායක විසින් දවස, ලේක්හවුස් මල්ටි පැක්ස්, නම් විවිධ ආයතන වල සේවය කරමින් තම චිත්‍ර කතා රාශියක් නිර්මාණය කිරීමට සමත් විය.
  • සරසවි පත්තරේ පළවූ සාරංගා සතුට පත්තරේ පළවූ කබලෙන් ලිපට, සුසීමා, අත්තික්කා මල, පාට පාට, හීනයක්, යලි පිපුනු මලක්, කළු පරවියෝ, ඔහුගේ එකල ජනප්‍රිය වූ චිත්‍ර කතා කිහිපයකි
  1. සරසවි පත්තරේ පළවූ සාරංග
  2. සතුට පත්තරේ පළවූ චිත්‍ර කතා









        

  • මොහුගේ චිත්‍රකතා සෙසු චිත්‍ර කතාවන්ගේ වෙනස් වී පෙනෙන්නට ප්‍රධාන කරුණක් නම් ඔහු සිය කතා වල හා චරිත වල ක්‍රියාකාරකම් සැබෑ ස්වාභාවික දර්ශන තල උපයෝගී කර ගනිමින් නිර්මාණය කිරීමයි. කබලෙන් ලිපට නැමැති චිත්‍රකතාව සඳහා ලේක්හවුස් ආයතනය නිදහස් චතුරස්‍රය ආදී දර්ශන තලයන් දීම පාට පාට හීනයක් චිත්‍ර කතාව සඳහා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මල් උයන්, දේශන ශාලා ,ශිෂ්‍ය නේවාසිකාගාර, ආපනශාලාව එලෙසින්ම සිතුවම් කිරීම උදාහරණයක් ලෙස ගත හැකිය.
  • ජනක රත්නායක ගේ චිත්‍ර කථා රාශියක් ටෙලි නාට්‍ය නිර්මාණ ලෙස ද එළි දක්වනු ලැබ ඇත.


ඇගයීම: 6.6.1 පුවත්පත් චිත්‍රකතා ශිල්පීන්ගේ නිර්මාණ

පාඩම හොඳින් කියවා බලා අසා ඇති සියලු ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න

1. චිත්‍රකතා නිර්මාණ පළමුව ආරම්භ වන්නේ කුමන රටේ ප්‍රවෘත්ති පත්‍ර වල ද? ……………………………………………………

2. ශ්‍රී ලංකාවේ ප්‍රථම චිත්‍රකතාව පළ වුයේ කුමන පත්‍රයේද? ……………………….

3. එසේ පළවූ ප්‍රථම චිත්‍ර කතාවේ නම කුමක්ද? ……………………………….

4. එම චිත්‍රකතාව නිර්මාණය කළ ශිල්පියා කවරෙක්ද? …………………………

5. ලංකාවේ නිර්මාණය වූ පළමු චිත්‍ර කතා පත්තරේ නම කුමක්ද? …………….

6. චිත්‍රකතා පුවත්පත් කිහිපයක නම් සඳහන් කරන්න.

…………………………………………………………………

7. “සුලසා” ජාතකය හා “නල දමයන්ති” යන නිර්මාණයන් කරනු ලැබූ ශිල්පියා කවරෙක්ද? …………………………………..

8. සිළුමිණ පත්තරයේ පළවූ “ඉන්දු” නම් චිත්‍ර කතාව කාගේ නිර්මාණයක්ද? ………………………….

9. දයා රාජපක්ෂ ශිල්පියා විසින් නිර්මාණය කරන ලද චිත්‍ර කතා දෙකක් නම් කරන්න

………………… …………………….

10. සුසීමා නම් ජනප්‍රිය චිත්‍ර කතාව කාගේ නිර්මාණයක්ද? ……………

11. ජනක රත්නායක ශිල්පියාගේ චිත්‍ර කතා සෙසු චිත්‍ර කතා කරුවන් ගෙන් වෙනස් වී පෙනෙන්නට ඔහුගේ චිත්‍ර තුළ දක්නට ලැබෙන සුවිශේෂී ලක්ෂණ දෙකක් දක්වන්න. …………………………………………………………………. ………………………………………………………………….