Sunday, May 24, 2020

වාහල්කඩ හා වටදාගෙය නිර්මාණ අගයමු.

සැකසුම:සුරංගි වීරසේකර

7.1.3 කාර්ය පත්ත්‍රිකාව

වාහල්කඩ:


චෛත්‍යයේ සතර දිසාවේ චෛත්‍යයට පිටුපා ගොඩනගන ලද තොරණක් බඳු අලංකාර කැටයම් සම්භාරයකින් යුත් උසස් සුවිශේෂි ගෘහ නිර්මාණ විශේෂයක් ලෙස වාහල්කඩ හැඳින්විය හැකිය.ස්තූපය සතර දිසාවේ වාහල්කඩ හතරකින් අලංකාර වන අතර භාරතයේ චෛත්‍ය වල වාහල්කඩ හා සමාන අංගයක් ලෙස තොරණ නිර්මාණය කර ඇත.ඒ අනුව අපට ආවේනික ලෙස ස්ථුපයටම සම්බන්ධ කර දාගැබේ ශක්තිමත් බව හා අලංකාරයට එක් කල නිර්මාණයක් සේ වාහල්කඩ හැඳින්විය හැකි අතර සිව් දිසාවේ මල් ආසන හා සම්බන්ධ වනසේ නිර්මාණය කර ඇත.වාහල්කඩ ආයක,ආයික යන නම් වලින්ද හැඳින්වෙන අතර මෙය ඍජුකෝණාස්‍රාකාර ආකාරයක් ගනී.  මෙහි පාදම  කොටස ගලෙන් නිර්මාණය කොට, ඉහල කොටස ගඩොලින් නිම කර ඇත. ගලින් නිමවූ පහල කොටසෙහි බොරදම් තීරු ගනනාවක් ඇති අතර ඒවා ඇත්,මකර,වාමන,හංස ආදී රූප වලින් කැටයම් කර ඇත.
එසේම වාහල්කඩ තුල ඇති විමාන තුල  බුද්ධ රූප හා දේව රූප තැන්පත් කර තිබූ බවට අනුමාන කෙරේ.දෙකෙලවර වාහල්කඩයට සම්බන්ධ කර ගල් කුළුණු (ටැම්) දෙකක් ඇති අතර ඒවා විසිතුරු කැටයම් වලින් නිරූපිතය.එහි කල්පලතා,කල්පවෘක්ෂය හා නිදහස් සත්ව මෝස්තර දක්නට ඇති අතර මෙම සම්ප්‍රධායක කැටයම් තුලින් නිරූපනය වන්නේ සෞභාග්‍ය හා ආරක්ෂාව වැනි හැඟීම් බව සඳහන්වේ.මෙම ගල් කුළුණු  මුදුන් මත ඇත්,අස්,ගව,සිංහ යන රූප නිමවා ඇති අතර එයින් සතර දිසාව සංකේතවත් වන බව අදහස්  කෙරේ.දැනට හමුව ඇති විශිෂ්ඨ කලා ලක්ෂණ  වලින් හෙබි හොඳම වාහල්කඩය වන්නේ, අනුරාධපුර යුගයට අයත් මිහින්තලේ කණ්ඨක චෛත්‍යයේ  වාහල්කඩයයි.පොළොන්නරු යුගයේ හමුවන්නේ රන්කොත් වෙහෙරට අයත් වාහල්කඩයයි





                                              රන්කොත් වෙහෙරේ වාහල්කඩ


වටදාගෙය:




දාගැබක ආරක්ෂාව පිණිස දාගැබ වටා නිර්මාණය කරන ලද ගෘහය වටදාගෙය  නමින් හැඳින්වේ. ස්ථූපය වටා උස මට්ටම් කීපයකට යෙදෙන පරිදි වක්‍රාකාරව සිටවූ ගල් කණු මත ,දැව වහලයකින් තැනූ මෙය, බෞද්ධ ගෘහ නිර්මාණ ශිල්පියාගේ සුවිශේෂි නිර්මාණයකි.බොහෝවිට කුඩා ස්ථූප සඳහා වටදාගෙය නිර්මාණය කල අතර ථූපඝරය,දාගෙය,චේතියඝරය,චේතියගෘහ සහ සෑගෙය, යන නම් වලින්ද හැඳින්වේ.ස්ථූපයේ ආරක්ෂාවට මෙන්ම වන්දනාමාන කරුවන්ගේ පහසුව තකා සකසන්නට ඇති වටදාගෙයි  ගල්කණු ඉතා සියුම් කැටයමෙන් නිර්මාණය කර ඇත.කුළුණු හිස් හා කුළුණු ඉතා මටසිලිටි ආකාරයෙන් කැටයමට නගා ඇති අතර ලංකාවේ මුල්ම වටදාගෙය ථූපාරාම වටදාගෙයයි.
මෙවැනි  උසස් කලා ලක්ෂණ හෙබි වටදාගෙවල් අනුරාධපුර,පොළොන්නරු ආදී විවිධ යුග වලදී නිර්මාණය විය.අනුරාධපුර තිරියායේ වටදාගෙය , පොළොන්නරු යුගයට අයත් මැදිරිගිරිය හා පොළොන්නරු වටදාගෙය ඊට නිදසුන් වේ. 







පොළොන්නරුව වටදාගෙය:


වේදිකා දෙකකින් යුත් මෙම වටදාගෙය,මුල් වේදිකාවට පිවිසීමට එක් පඩිපෙළක් ද,දෙවන මළුවට පිවිසීමට සතර දිසාවෙන් පඩිපෙළවල්  හතරක් ද වේ.සෑම එකකම, සඳකඩ පහන,මුරගල් හා කොරවක් ගල් වලින් අලංකාර වේ.මෙහි වඩාත් වැදගත් මෙන්ම අලංකාර වන්නේ කැටයම් කරන ලද අඩි 3 ක් පමණ උස  ප්‍රාකාරයයි. චතුරස්‍රාකාර කොටු රටාවකට අනුව පෙති සතරේ බිනර මල් මෝස්තරය ඉතා අලංකාර සේ කැටයමට නගා ඇත. එසේම වටදාගෙයි මධ්‍යයේ ඇති චෛත්‍ය  වටා සතර දිසාවෙහි ඉදිකරන ලද බුදු පිළිම සතරකි.බුදු පිළිම ධ්‍යාන මුද්‍රාවෙන් හා වීරාසන ක්‍රමයෙන් වැඩසිටී.






මැදිරිගිරිය වටදාගෙය:

ලංකාවේ වටදාගෙවල් අතරින් ඉතා අලංකාරවත්ම වටදාගෙය වන්නේ මෙයයි.ගෘහ නිර්මාණ ශිල්පය අතින් පොළොන්නරු වටදාගෙයට සමානවේ.මෙම වටදාගෙය මැද කුඩා දාගැබකි.ගල්කණු වල කුළුණු හිස් පද්මයක ආකාර වන අතර අලංකාර කැටයමෙන් සමන්විතවේ.






ඇගයීම 7.1.3:

1.වාහල්කඩ යනුවෙන් හඳුන්වන්නේ කුමක්ද?
2.වාහල්කඩෙහි දෙපස කුළුණු මත නිර්මිත සත්ත්ව රූප මොනවාද?
3.කාලාත්මක අතින් උසස් ම වාහල්කඩ ඇති ස්ථානය නම්කරන්න.
4.දැනට සුරක්ෂිතව ඇති පොළොන්නරු යුගයට අයත් වාහල්කඩක්  නම් කරන්න.
5.වාහල්කඩ හඳුන්වන වෙනත් නම් දෙකක් ලියන්න.
6.වටදාගෙය යනු කුමක්ද?
7.ශ්‍රී ලංකාවේ ඉදිවූ  මුල් ම වටදාගෙය කුමක් ද?
8.වටදාගෙය ඉදි කරනු ලබන්නේ ප්‍රමාණයෙන් විශාල චෛත්‍ය සඳහා ද  කුඩා චෛත්‍ය සඳහා ද?
9.දැනට ලංකාවේ දක්නට ලැබෙන වටදාගෙය කිහිපයක් නම් කරන්න.
10.වාහල්කඩ හා වටදාගෙය නිර්මාණය සඳහා යොදාගන්නා මාධ්‍ය නම් කරන්න.