Monday, December 21, 2020

පන් හා නියඳ කලා කර්මාන්තයට අයත් නිර්මාණ අගයමු

  සැකසුම:සුරංගි වීරසේකර, අශානි රත්නසූරිය

6.4.1 කාර්ය පත්ත්‍රිකාව


පන් හා නියඳ පැදුරු කලා කර්මාන්තය 

·         අතීතයේ මිනිසා තමන් වාසය කළ පරිසරයෙන් පහසුවෙන් සපයාගත හැකි අමුද්‍රව්‍ය භාවිතා කරමින් තමාට එදිනෙදා අවශ්‍ය දේ තමන් විසින්ම නිර්මාණය කරගනු ලැබුවා.එසේ තම එදිනෙදා ජීවිතයේ දී භාවිතයට ගන්නා "පැදුර" අතීතයේ මිනිසා තමන් විසින්ම නිර්මාණය කරගෙන ඇත.

·         කෘෂිකර්මාන්තය මූලික කරගත් සරල දිවියක් ගෙවූ ඔවුන් වගා බිමෙන් නෙළාගත් ධාන්‍ය වියලීම, නිදා ගැනීම වැනි කාර්යයන් සඳහා මුල් කාලයේ සත්ව හම් භාවිත කරන්නට ඇත.

·         පසුකාලීනව ඔවුන් පන් හා නියද කෙඳි භාවිතා කරමින් පැදුරු සකස් කර ගනු ලැබුවා.පන් හා නියඳ ආශ්‍රිත කලා නිර්මාණ ශ්‍රී ලංකාවේ අතීතයේ සිට පැවත එන ගැමි කලාවකි.එම නිර්මාණ ප්‍රධාන වර්ග දෙකකි .

  1.           නියඳ පැදුරු (කළාල)
  2.           පන් පැදුරු

·         මෙම කර්මාන්තය සඳහා විවිධ අමුද්‍රව්‍ය භාවිතා කළ ද වර්ණ යෙදීම සෑම ප්‍රදේශයකම පාහේ පොදු බවක් දැකිය හැකිය.

  •  රතු - පතඟි දැව හා කොරකහ කොළ භාවිතයෙන්
  •  කහ - වෙනිවැල්ගැට හෝ අමු කහ භාවිතයෙන්
  •  කොළ - කනේරු කොළ, ලුණුමිදෙල්ල, කැලෑ කොහොඹ භාවිතයෙන්
  •  කළු - අරළු බුළු කොටා තම්බා ගැනීමෙන්

·         මෙම නිර්මාණ සිදු කරනු ලබන්නේ විවීමේ ශිල්ප ක්‍රමය අනුවයි.


දුම්බර පැදුරු /නියඳ පැදුරු කර්මාන්තය

·         අතීතයේ පටන් නියඳ පැදුරු කර්මාන්තයට ප්‍රසිද්ධියක් උසුලන්නේ මහනුවර දුම්බර ප්‍රදේශයයි.මේ කලා කර්මාන්තයේදී කළාල නිර්මාණය කරනු ලබන මාධ්‍යය වන්නේ නියඳ කෙඳිය.

·         නමුත් වර්තමානයේ දී නියඳ ශාකය දුර්ලභ නිසාත් හණ පත්‍ර වලින් වැඩි කෙඳි ප්‍රමාණයක් ලබා ගැනීමට පහසු නිසාත් ආදේශකයක් ලෙස හණ කෙඳි භාවිතා කෙරේ.

·         නියඳ ගසේ පත්‍ර වලින් ලබාගත් කෙඳි භාවිතා කර සරල උපකරණයක් භාවිතා කිරීම මගින් කළාල නිර්මාණය කරයි.

·         නියඳ කළාල හෙවත් නියඳ පැදුරු ප්‍රධාන කොටස් තුනකි.

  1.           පන්නම් කළාල ( සාමාන්‍ය පැදුරු)
  2.           වැඩ කළාල (මිශ්‍ර සැරසිලි සහිත පැදුරු)
  3.           කුරුලු කළාල (කුරුලු හැඩ සහිත පැදුරු 

 හණ පත්‍රවලින් කෙඳි ලබා ගැනීම  


                    හණ කෙඳිවලින් කළාල විවීම


දුම්බර /නියඳ පැදුරු රටා 




පන් පැදුරු කර්මාන්තය






·         අතීතයේ ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකම පන් පැදුරු කර්මාන්තය පැතිරී තිබුණි.පන් කර්මාන්තයේ යෙදෙන්නන් "කින්නර"යන නමින් හඳුන්වයි.

·         වර්තමානයේ දී කළුතර, ගාල්ල, ගම්පහ,රත්නපුර,මඩකලපුව යන ප්‍රදේශවල පන් පැදුරු කර්මාන්තය ප්‍රචලිතය.


පන් පැදුරු කර්මාන්තයේදී භාවිතා වන සැරසිලි රටා

  •  තනිපට ලණුව,දෙපට ලණුව
  • කදුරු මල ,අවුල්හැරේ, වංකගිරිය ,මාස දොළහ, රත්වත්තේ අලංකාරය, තාරකා පෙත්ත
  • සත්ව සැරසිලි - අලියා, කුරුල්ලා, නයි පොරේ,මුවා ,මකුළු රටාව


දකුණේ පන් පැදුරු රටා

 

මඩකලපු පන් පැදුරු රටා වර්ග

·         මඩකලපු දිස්ත්‍රික්කයේ වාලච්චේනෙයි, කල්ලාරු ,කාන්තාන්කුඩි, ඒරාවුර් ආදී ගම්මාන පන් පැදුරු කලාවට ප්‍රසිද්ධය.

·         වර්ණ ගන්වන ලද පන් වියන ප්‍රධාන රටා වර්ග දෙකකි.

  1. ඔන්ඩිප්පායි -සම චක්‍රරත්නය සෘජුකෝණාස්‍රය සෘජුකෝනාස්‍රය ත්‍රිකෝණය වැනි ජාමිතික හැඩතල වලින් යුක්ත රටා
  2. පූනිප්පායි- සමාන්තර රටා ( සමමිතික ක්‍රමවත් බවකින් යුක්ත රටා .
  •       ඉහත දෙවර්ගයම ඇතුළුව රටා  30කින් පමණ පැදුරු විවීම සිදු කරනු ලැබේ.





පහත සඳහන් ප්‍රශ්නවලට පිළිතුරු සපයා වෙනම ගොනුවක් සේ සකස් කරන්න.

6.4.1 ඇගයීම

1)      පන් හා නියඳ වර්ණ ගැන්වීමේ දී වෙනිවැල්ගැට හෝ අමු කහා මගින් සාදාගන්නා වර්ණය කුමක්ද?

2)      කොළ පැහැය ලබා ගැනීමට යොදා ගන්නා අමුද්‍රව්‍ය මොනවාද?

3)      පන් හා නියඳ පැදුරු කර්මාන්තයේ දී භාවිත වන ශිල්ප ක්‍රමය කුමක්ද?

4)      වර්තමානයේ දී නියඳ ශාකය වෙනුවට භාවිතා කරනු ලබන ආදේශකය කුමක්ද?

5)      නියද කලාල හෙවත් නියඳ පැදුරු ප්‍රධාන කොටස් තුනකි. ඒ මොනවාද ?

6)      පන් කර්මාන්තයේ නියැලී සිටින පුද්ගලයන් හඳුන්වනු ලබන්නේ කුමන නමකින්ද?

7)      අතීතයේ සිට නියඳ පැදුරු නිර්මාණයට ප්‍රසිද්ධියක් උසුලන්නේ කුමන ප්‍රදේශයේද?

8)      පන් පැදුරු සඳහා ප්‍රසිද්ධ ප්‍රදේශ 4ක් නම් කරන්න.

9)      පන් පැදුරු කර්මාන්තයේදී භාවිතා කළ සැරසිලි රටා 5ක් නම් කරන්න.

10)  මඩකලපු පන් පැදුරු සඳහා ප්‍රසිද්ධ ප්‍රදේශ 4ක් නම් කරන්න.