Tuesday, February 23, 2021

මයිකල් ආන්ජිලෝ ශිල්පියාගේ නිර්මාණ

 සැකසුම -.සී.එන්.ගුණවර්ධන,සුරංගි වීරසේකර

6.2.2 ක්‍රියාකාරකම

මයිකල් ආන්ජිලෝ(ක්‍රි.ව 1475-1564 )

  •  මහා පුනරුද යුගයේ බිහිවූ ශ්‍රේෂ්ටතම කලා ශිල්පියෙකි .ස්ව නිර්මාණ තුලින් විදහා දැක්වූ කලා කෞශල්‍ය සහ සුධීමත් භාවය පිලිබඳ සමකළ නොහැකි සංකේතයක් බඳුය.විටෙක මූර්ති ශිල්පියෙකි.චිත්‍ර ශිල්පියෙකු නොවේ යැයි තමා විසින්ම හඳුන්වා ගත්තද,ලොව මෙතෙක් පහළ වූ අග්‍රගනය චිත්‍ර ශිල්පියෙකි. කවියෙකි,ගෘහ නිර්මාණ ශිල්පියෙකි. ලියනාඩෝ ඩාවින්චි සහ රෆායෙල්ගේ සමකාලීනයෙකි. වංශාධිපතීන් සහ පුජකයන්ගේ අනුග්‍රහයෙන් වැජඹුන කලාවක පෙරමුණේ සිටියේය. මුර්ති කලාව සහ බිතුසිතුවම් කලාව කෙරෙහි ඔහු විසින් කලා වූ මෙහෙය අසමසමය.ඔහුගේ දැවැන්ත වූද අසමසම වූද නිර්මාණ ව්‍යපෘති හේතුවෙන් සමකාලීන අනෙකුත් නිර්මාණයන්ට වඩා චිත්‍ර කලාව, මූර්ති කලාව,ඉන් පෙර නොපැවති පෘතුලත්වයක් ගාම්භීරතත්වයක් හා මහේශාක්‍ය බවක් අත්පත් කරගත්තේය .
  • පුනර්ජීවන යුගයේ අග්‍රස්ථානය ලෙස සැලකෙන ෆ්ලොරන්ස් නගරයට ආසන්න කාසල් කැප්රීස් නම් කුඩා ගමක 1475 දී උපන්නේය .කුඩා කළ සිටම චිත්‍ර ශිල්පය කෙරෙහි මහත්සේ ඇළුම් කල මයිකල් ආන්ජිලෝ “ජිර්ලන්ඩායෝ ලොරෙන්සෝ හා බර්ටල්ඩෝ යන ශිල්පීන් යටතේ චිත්‍ර කලාව හදාරා තිබේ.එසේම එකල ෆ්ලෝරන්ස් නගරයේ විසූ ශිල්පීන්ගේ ක්‍රම ශිල්ප සහ ශෛලීන් මොහු වෙත මහත් සේ බලපෑම් කළේය .මුල් අවධියේ මසාචියෝ වැනි ශිල්පීන්ගේ සිතුවම් අධ්‍යයනය කරමින් කල්ගත කළ මොහු එයින් නොනැවතී යාන්ත්‍රික අත්හදාබැලීම් වලද නිරතවිය .ඒ තුළින් ගොඩනගාගත් ආත්ම විශ්වාසයෙන් යුතුව ශරීර ව්‍යුහ විද්‍යාව පිළිබඳ අධ්‍යනය තුළින් මිනිස් සිරුරේ ව්‍යුහය ,මාංශපේශි වල ක්‍රියාකාරීත්වය පිලිබඳ පුළුල් වූ දැනුම් සම්භාරයක් ලබා ගැනීමට වෙහෙසිනි.මේ අතර පර්යාවලෝකනය වැනි චිත්‍ර කලාවේ ප්‍රකට සිද්ධාන්ත අධ්‍යයනය තුළින් චිත්‍ර කලාවේ දෘශ්‍ය ප්‍රයෝගයන් පිළිබඳ අධ්‍යනය කිරීමට පවා යුහුසුළු වී ඇත .
  • කලා ජීවිතයේ මුල් කාලවකවානුවේ සිටම දෘශ්‍යමාන වන දෑට වඩා එහා ගිය යමක් නිර්මාණය තුළින් විනිවිද දැකීමෙන් උපයාගැනීමට සමත්වීම හෙවත් මතුපිටට යටින් පවත්නා යථාර්තය ග්‍රහණය කරගැනීමට හෙතෙම සමත් වූ අතර ඒ ඔස්සේ යමින් අනුවේදනීයත්වයේ ප්‍රතිමුර්තියක් බඳු රෝම පියෙටාව සහ වීර වික්‍රමාන්විත භාවපුර්ණ නිර්මාණයක් වන ඩේවිඩ් යන අසමසම මුර්ති දෙක නිර්මාණය කිරීමට සමත්විය .එම නිර්මාණ අසමසම උදාරත්වයෙන් යුතුව අද දක්වාම පවතින්නේය .මොහු විසින් ලොවට දායාද කළ කිරිගරුඬ මාධ්‍යයෙන් නිමකළ මුර්ති නිර්මාණ අතර පියෙටා, ඩේවිඩ්, මෝසස් ,මිය යන වහලා,කැරලිකාර වහලා,II ජුලියස් පාප් තුමාගේ සොහොන් ගෙය, බෲරූගස්හි මරියමව්තුමිය යන කෘතීන් හඳුන්වා දිය හැකිය.
  • විටෙක ෆ්ලොරන්ස් නුවර වෙත යමින් කලා නිර්මාණයන්හි යෙදුන මොහු විටෙක රෝමය තුළ රැඳෙමින් අග්‍රගන්‍ය නිර්මාණ රැසක් ලොවට දායාද කර ඇත .වයස අවරුදු 30 දී රෝමයට කැඳවනු ලැබුව එතැන් සිට අවුරුදු 30 ක පමණ කාලයක් පාප්වහන්සේට සේවය කිරීමට සිදුවූ අතර එම කාලය තුළ උසස් නිර්මාණ රාශියක් රෝමයට දායාද කර ඇත .මයිකල් ආන්ජිලෝ අතින් මේ යුගයේ බිහි වූ චිත්‍ර සහ මූර්ති රාශියකි .රෝමයේ වතිකානුවේ සිස්ටයින් දෙව් මැදුරේ සීලිමේ චිත්‍ර හා අල්තාරය පිටුපස නිමවූ ලොව සුවිසල්ම ප්‍රෙස්කෝ සිතුවමද මේ අවදියේ නිමවූවකි.
  • දිග පළල අතින්ද,පෘථුලභාවය අතින්ද ගාම්භීරත්වය අතින්ද ,චිත්‍ර කලාවේ ප්‍රාතිහාර්යක් බඳු වූද ,අග්‍රඵලයක් බඳු වූද ,යෝධ සිතුවම් මාලාව, සිස්ටයින් දෙව් මන්දිරයේ බොකු සිවිලිමේ ද,අල්තාරයේද, බිත්තිවලද මොහු අතින් නිමවිය . ‘මම චිත්‍ර ශිල්පියෙකු නොවෙමි යැයි” හෙතෙම පැවසූ අතර එනමුදු අවසාන විනිශ්චය , ලොකෝත්පත්ති කතාව වැනි ගැඹුරු මානව අන්තර්ගතයක් සහිත සිතුවම් මාලාවකින් සිස්ටයින් දේව මන්දිරය විසිතුරු කිරීමට ඔහු සමත් විය .එහිදී අනේකවිඳ දුක්ඛ දෝමනස්සයන්ට මුහුණ දීමට පවා ශිල්පියාට සිදුවුන බව සඳහන්වේ.කෙසේ නමුදු සියලුම සිතුවම් ඔහුගේ දෑතින් නිමවන්නට තරම් පුණ්‍යවන්ත විය .
  • තිස් අවුරුදු දෙව් මැදුරු සේවා කාලයක් සහිතව 89 වියේදී ජීවිතයෙන් සමුගත් මෙම අසහාය කලාකරුවාගේ සිය නිර්මාණ දිවියේ විශිෂ්ටතම කාර්යය වුයේ මානව රුව චිත්‍රණය කිරීම හා මුර්තියට නැගීමයි .එයිනුත් මිනිස් රුව මූර්තිමත් කිරීම මගින් විශිෂ්ටත්වයට පත් වීමට මොහුට හැකි විය .මෙම හේතුවෙන් පුනර්ජීවන යුගයේ චිත්‍ර කලාව සහ මුර්ති කලාව අන්කවර කලාවකටද වඩා ඉතා උසස් තලයකට ගෙන ඒමට මයිකල් ආන්ජිලෝ නම් අසමසම කලා ශිල්පියා ප්‍රතිභාසම්පන්න විය .

මයිකල් ආන්ජිලෝගේ මුර්ති නිර්මාණ

පියෙටා (pieta)

  • මයිකල් ආන්ජිලෝ මෙම මුර්තිය නිර්මාණය සඳහා තෙම කරගෙන ඇත්තේ කුරුසියෙන් ඉවත් කරන ලද මියගිය ජේසුස් වහන්සේගේ අප්‍රාණික සිරුර මරිය මව් තුමිය විසින් උකුලේ හොවාගෙන සිටින ආකාරයයි .
  • ‘කිරිගරුඩ” මාධ්‍යයෙන් නෙළා ඇති මෙම පුර්ණ උන්නත මුර්තිය රෝමයේ ශාන්ත පීතර දෙව් මැදුරේ ප්‍රදර්ශනය කර ඇත .
  • ජේසුස් වහන්සේගේ අප්‍රාණික ශරීර ස්වභාවය තාත්විකව හා මරියතුමියගේ සළුපිළිවල රිද්මයානුකුල බව ඉතා ස්වාභාවිකව කිරිගරුඬ මාධ්‍යයෙන් නිරූපණය කර ඇත .
  • මව සහ පුතු සමවයස්ව දැක්වීමෙන් දිව්‍යමය ස්වභාවය මතුකිරීමට උත්සහයක් දරා ඇත .
  • මානුෂිකත්වය පිළිබඳ අනුවේදනීයත්වය මෙම නිර්මාණයෙන් ධ්වනිත කරයි .
  •  මව් පුතු දෙදෙනා  එකිනෙකා  පරයන මියුරු තාරුණ්‍යයෙන් නිරූපණය වීම අරඹයා විවිධ අදහස් පැමිණුනද, පියෙටා යනු අසමසම නිර්මාණයකි .තේමාව විනිවිධ දැකීමේ හැකියාවෙන් සිය කෘතිය ආගමික කලාවෙන් ඉහළට ඔසවා තැබීමට මයිකල් ආන්ජිලෝ සමත් විය .භාවමය ප්‍රකාශනයෙන් අනුන මෙම නිර්මාණය කිරිගරුඬ වැනි රළු මාධ්‍යකින් මතුකළ ආකාරය විස්මය ජනකය .

ඩේවිඩ් (David)

  • ශක්තිය ,නිර්භීතභාවය ,මානව දයාව හා තාරුණ්‍ය යන ගුණාංග මෙම මුර්තියෙන් මැනවින් නිරූපිත ය .
  • කිරිගරුඬ මාධ්‍යයෙන් පුර්ණ උන්නත ලෙස නිර්මාණය කර ඇති මෙම ප්‍රතිමාව අඩි 14 අඟල් 03 පමණ උසින් යුතු නග්න පුරුෂ රුවකි .
  • ග්‍රීක -රෝම මුර්ති සම්ප්‍රදායට අනුව මානව දේහයේ සුන්දරත්වය ,කඩවසම් බව හා රිද්මය ස්වභාවිකව හා තාත්විකව නිරූපණය කර ඇත .
  •  ඩේවිඩ් යනු ශිෂ්ට ජීවිතයට අභියෝගයක්ව තිබුණු ගෝලයාත් නම් මිලේච්ඡයා කැටපෝලයෙන් විද මරා දැමූ කොලු ගැටයෙකි .එම නිසා රෝම පුරන්නොප්තීන්හි ඩේවිඩ් හැඳින්වුයේ වීරයෙකු ලෙසය .මේ සඳහා භාවිතා කරන ලද කිරිගරුඬ කුට්ටියද වෙනත් ශිල්පියෙකුගෙන් ඉල්ලාගත් එකක් වන අතර සිය ආත්ම විශ්වාසය සහ ප්‍රතිභාව මුසු කොට ඩේවිඩ් නම් අපුර්ව නිර්මාණයක් බිහිකළේය .මින් පෙරද ඩේවිඩ් නමින් මුර්ති කිහිපයක් ඩොනාටෙලෝ (Donatello) සහ වෙරෙචියෝ (Verrocchio) විසින් නිර්මාණය කර තිබුණද ඒවා මයිකල් ආන්ජිලෝගේ ඩේවිඩ් කෘතියේ විශිෂ්ටත්වයට සමකළ නොහැකි විය .

මයිකල් ආන්ජිලෝගේ බිතුසිතුවම් - සිස්ටයින් දෙව්මැදුර

ආදම් මැවීම (The creation of adam)

  • මයිකල් ආන්ජිලෝ විසින් රෝමයේ සිස්ටයින් දෙව් මැදුරේ ප්‍රෙස්කෝ සීකෝ ශිල්ප ක්‍රමයෙන් නිර්මාණය කරන ලද වියන්තල සිතුවම් අතුරින් වැදගත් නිර්මාණයකි .
  • මෙහි විශේෂත්වය වන්නේ දෙවියන් වහන්සේගේ රුව බොහෝ ක්‍රිස්තියානි ශිල්පීන් විසින් නිරූපණය නොකරන ලද ලෙස සාමාන්‍ය මිනිස් රුවක ස්වරූපයෙන් නිර්මාණය කර දැක්වීමයි 
  • මෙම සිතුවමින් නිරූපණය වන්නේ දේව දූතයින් සමඟ සිටින දෙවියන් වහන්සේ ආදම් වෙත ඇඟිල්ල දිගු කර සිටින අතර ආදම් විසින් දෙවියන් වහන්සේ වෙත අත දිගු කරගෙන සිටින ආකාරය යි .
  • මෙහිදී දෙවියන් වහන්සේගේ මහලු ස්වරූපය සහ ආදම්ගේ තාරුණ්‍ය මැනවින් නිරූපණය කර තිබේ .
  • ඔහුගේ මූර්තිවල දැකිය හැකි ශක්ති සම්පන්න හා ජවසම්පන්න බව මෙම චිත්‍ර නිර්මාණයෙහි ද මැනවින් දැකිය හැකිය .
  •  මෙහිදී මයිකල් මයිකල් ආන්ජලෝ බොහෝවිට ගුරුකොට ගන්නට ඇත්තේ ග්‍රීක ශිල්පීන් අනුගමනය කරනලද දේව සංකල්පනයන් උත්තරීතර මානව ස්වරූපයකින් පුද්ගලරෝපනය කිරීමයි .මෙම චිත්‍රයට බොහෝ සමාන වූ ඒව මවන චිත්‍රයද ,ජල ගැල්ම දැක්වෙන චිත්‍රයද ,ආදම් සහ ඒව සමගින් දෙවියන් වහන්සේ උරණවන අයුරු දැක්වෙන චිත්‍රයද සුවිශේෂී වේ .

අන්තිම විනිශ්චය (Last Judgment)

  • රෝමයේ වතිකානු නගරයේ සිස්ටයින් දෙව් මැදුරේ අල්තාරය පිටුපස බිත්තියේ මෙම සිතුවම නිර්මාණය කර ඇත .
  • ලොව විශාලම ප්‍රෙස්කෝ සිතුවම ලෙස සැලකෙන මෙය අඩි 48 × 44 ප්‍රමාණයෙන් යුක්තය .
  • මයිකල් ආන්ජිලෝ විසින් මෙම චිත්‍රය ප්‍රධාන කොටස් තුනකට බෙදා එය ස්වර්ගය ,මනුලොව හා පරලොව ලෙස සංකේතාත්මකව නිරූපණය කර ඇත .
  • ශිල්පියාට ආවේණික වූ ස්වභාවික හා තාත්වික ශෛලීය ලක්ෂණ සහිතව මෙම චිත්‍රය සංරචනය කර තිබේ .
  •  එහිදී මිනිස් රූපවල කායික ලක්ෂණ හා ක්‍රියාකාරී ලක්ෂණ සමග හැඟීම් ප්‍රකාශනය මැනවින් නිරූපණය කර ඇත .

  • මෙම චිත්‍රයේ උඩු කොටසේ ක්‍රිස්තුස්වහන්සේගේ කුරුසප්‍රාප්තිය මෙන්ම කුරුසියෙන් නගිටීමද ,පාතාල ලෝකයෙන් නැගීසිටීමට තැත් කරන පාපීන්ද,දෙවියන් වහන්සේගේ ශාපයද ,තෝරාගත් බැතිමතුන්ට නැගී සිටින සේ කරන අණද මයිකල් ආන්ජලෝට උරුම වූ ආකෘතියෙන් දක්වා ඇත .මෙහි එක කොනක සිට අනෙක් කොනට කතාව කියවෙන අන්දමේ නිදර්ශනාත්මක ස්වරූපයෙන්නොව මයිකල් ආන්ජලෝට ආවේණික සංරචන ශෛලියකින් ඉදිරිපත් කර ඇත.

ඇගයීම 6.2.2  මයිකල් ආන්ජිලෝ ශිල්පියාගේ නිර්මාණ 

පහත ඇති නිර්මාණ හඳුනාගෙන දී ඇති උපමාතෘකා ඔස්සේ කෙටි හැඳින්වීමක් කරන්න .

1.

  1. හඳුනාගත් බව -...................................................................................................
  2. ශිල්පියා - ...........................................................................................................
  3. මාධ්‍ය -...............................................................................................................
  4. ශිල්ප ක්‍රමය -......................................................................................................
  5. ශිල්පීය කුසලතාවය -..........................................................................................

2.

3.

4.