Sunday, May 31, 2020

ප්‍රාග් ඓතිහාසික සිතුවම් අගයමු.

සැකසුම:සුරංගි වීරසේකර

7.2.1 කාර්ය පත්ත්‍රිකාව



ශ්‍රී ලංකාවේ නොයෙක් පළාත් වලින් ප්‍රාග් ඓතිහාසික සිතුවම් පිහිටි ගුහා 34 ක් ක් පමණ සොයාගෙන ඇත‍‍. මේවායින් ඉතා පැරණි සිතුවමි පිහිටියේ අනුරාධපුරයේ පිහිටි තන්තිරිමලේ  ලෙන තුළය.සෙනරත් පරණවිතාන මහතාගේ මතයට අනුව එම සිතුවම් වසර 4000 ක් තරම් පැරණිය. ආදි මානවයා තම සිතුවම් වලට යොදා ගත්තේ සත්ව දඩයමය. ඒ අනුව ලංකාවේ ප්‍රාග් ඓතිහාසික ලෙන් තුළ ඇඳ තිබෙන්නේ මිනිස් රූප - සත්ව රූප සහ දඩයම් ආයුධ වැනි රූප සටහන් හා සංකේත යි. මේවා අතර හදුනා නොගත් රූප සටහන් ද දැකිය හැකිය.

ප්‍රධාන වශයෙන් ආදි මිනිසා තම සිතුවම් කරණයේදී ක්‍රම දෙකක් භාවිතා කර ඇත.

1.         වර්ණයෙන් රූප ඇදීම.
2.         පිහිටි පර්වතය මත උල් සහිත ගල් පතුරකින් හෑරීමෙන් රූප මතු කිරීම ආදි වශයෙනි.

ආදි මිනිසා තම චිත්‍ර ඇදීම සදහා සායමි තනා ගත්තේ ශාක යුෂසතුන්ගේ රුධිරය හෝ වර්ණවත් මැටි හෝ අඵ, සත්ව තෙල් නැති නම් ශාක මැලියම් වර්ගයක් සමග මිශ්‍ර කර ගැනීමෙනි. තවද විද්වතුන්ගේ මතයට අනුව ශ්‍රී ලංකාව පැලියොලිතික් යුගයේ සිටම ආදි මානවයා භාවිතා කළ ගල් ගුහා සිතුවම් අනුක්‍රමයෙන් සංයුක්ත චිත්‍ර අක්ෂර බවටත්පසුව එම රේඛා සිතුවම් ප්‍රාථමික අක්ෂර ක්‍රමයක් වශයෙනුත් වර්ධනය වන්නට ඇතැයි විශ්වාස කෙරේ.

ලංකාවේ ප්‍රාග් ඓතිහාසික සිතුවම් ලෙස සැලකෙන නිර්මාණ වැඩි වශයෙන් හමුවන්නේ උතුරු මැද හා          නැගෙහිර ප්‍රදේශ ආශ්‍රිතව ය.  ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික යුගය පිළිබඳව වසර දෙලක්ෂ පනස් දහසක් තරම් ඉපැරණි මානව හා ශිලා මෙවලම් සාධක හමුවේ. එම කාලයට අනුව ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික චිත්‍ර වසර තුන්දහසක් තරම් ඉපැරණි බව මහාචාර්‍ය ඩී.බී.නන්දදේව සහ ම්හාචාර්ය ඊ.පී.දැරණියගල අනුමාන කරයි.
       මෙම ප්‍රාග් ඓතිහාසික චිත්‍ර වැදි ජනතාව විසින් අඳින ලද නිර්මාණ වශයෙන් සෙලිග්මාන් විසින් හඳුන්වා දී ඇත.ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික සිතුවම් සඳහා වස්තු විෂය වී ඇත්තේ මිනිසුන් සහ සතුන් ය.සත්ව රූප සටහන් අතර අලියා,දිවියා,සිංහයා,කිඹුලා,පත්තෑයා,මුවා,ගෝනා,වඳුරා,තලගොයා සහ මොනරා ප්‍රධාන වේ.සරල හැඩතල සංකේතවත් වන ආකාරයට දක්වා ඇති මෙම රූප ඇසුරෙන්, ආදී මානවයාගේ ප්‍රධාන ජීවනෝපාය වූ දඩයම පිළිබිඹු  කරන බව විචාරක මතයයි.

ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික සිතුවම් වල පොදු ලක්ෂණ
චිත්‍ර ඇඳීමේදී භාවිතාවූ ප්‍රධාන ශිල්ප ක්‍රම වන්නේ
   (a) රේඛාමය සටහන් ඇඳීමේ ක්‍රමය
   (b) ලී කැබැල්ලකින් හෝ ඇඟිල්ලෙන් සායම් තැවරීමේ ක්‍රමය.
   (C) සීරීමෙන් මතුකිරීමේ ක්‍රමය(Engraving)
පරිසරයෙන් සොයාගත් ස්වාභාවික ද්‍රව්‍ය වන අඟුරු,කිරිමැටි, සත්ව ලේ,සත්ව තෙල්,හිරිගල් යනාදිය වර්ණ ලෙස භාවිතා කර ඇති අතර ඒවා වතුර, මැලියම්,සත්ව ලේ හෝ සත්ව තෙල් සමග මිශ්‍ර කර ඇත.තනි රූප හා යුගල රූප සම්පිණ්ඩන‍යන් ලෙස චිත්‍ර නිර්මාණය කර ඇත.
රූප ඇඳ ඇත්තේ සරළ හැඩ තල හා සංකේතාත්මක ලෙසටය.මිනිස් හා සත්ව රූප වලට අමතරව වෙනත් ජාමිතික හැඩ හා සංකේත රූප යොදාගැනීම, තන්තිරිමලේ,දොරවක හා බිල්ලෑව, ප්‍රාග් ඓතිහාසික චිත්‍ර වල දැකිය හැකි ලක්ෂණයකි.

තන්තිරිමලේ  ප්‍රාග් ඓතිහාසික සිතුවම්


 තන්තිරිමලේ ලෙන

අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහවිලච්චිය පාරේ නිකවැව වයඹ දෙසට මල්වතු ඔය ආසන්නයේ තන්තිරිමලේ පිහිටා ඇත‍. ආදි කාලේ සිටම පුද බිමක් වූ මෙම බිම, විශාල සමතලා පර්වත තලයකින් යුක්තය. එහි එක් බෑවුමක කැලෑ මැදින් ටික දුරක් ගිය විට ආදි මානවයන් (බලංගොඩ මානවයා) විසින් අඳින ලද සිතුවම් පිහිටි ලෙන හමුවේ. සිය දෙනෙකුට වුවද සෙවන සලසන ගල් ලෙන, පිහිටි පර්වතයක් හේතු කොටගෙන සෑදී ඇත. එම ලෙනේ ඇතුළු පැත්තේ සහ පිටුපස ද සිතුවම් ඇඳ ඇත.

මෙහි සිතුවම් ඇගිල්ලෙන් හෝ ලී කොටුවකින් අදින ලද රේඛා සිතුවම් විශේෂයකි. ඒවා පාටකර නැත. විශේෂකොට සංකේත ස්වභාවයෙන් ඇඳ ඇත. සිතුවම් අතර දඩයම පිළිබද තොරතුරු ද කියවේ. මිනිස් රූප, සත්ව රූප, හිරු ආදි තේරුම් ගත හැකි රූප මෙන්ම සංකේත වශයෙන් අඳින ලද දුණු - ඊතල යන රූප ද, හදුනාගත නොහැකි රූප ද මේහි වැදගත් රේඛා සිතුවම් වශයෙන් සඳගහන් කල හැකිය.

ආදි මිනිසා ලෙන් තුල සිතුවම් ඇදීම සදහා වර්ණවත් මැටි වර්ග, ශාක යුෂ වලින්, සත්ව තෙල් හෝ ලේ සහ අළු වැනි ද්‍රව්‍ය ප්‍රයෝජනයට ගන්නට ඇතැයි සාදක හමුවි තිබේ. එකල රත් පැහැයෙන් ඇද තිබූ තන්තිරිමලේ සිතුවම් වර්තමානය වන විට අළු පැහැ ගැන්වී ඇත. තන්තිරිමලේ ආදි මානව සිතුවම් අතර ප්‍රධාන සිතුවම් වශයෙන් “මිනිසා හා සත්ව රූ'', දුනුවායා හා සතෙකුගේ පිට යන මිනිස් රුවත්, “කණ්ඩායම් සම්පින්ඩනය” /කොටුවක්(නිවසක්) තුළ ඇති මිනිස් රූප සහිත චිත්‍රයත් වැදගත් නිර්මාණ සේ සැලකේ.තවත් විශේෂිත සිතුවමක් වන්නේ සත්ව රූප අතරින් සොයාගත් තලගොයකු ලෙස අනුමාන කරන රූප සටහනයි. කණ්ඩායම් සම්පිණ්ඩනය සිතුවමෙන් නිරූපණය කෙරෙන්නේ කොටුවක් රේඛා වෙන් අදින ලද මිනිස් රූ දෙකකි.

                                       සතකුගෙ පිට මත මිනිසා                පිටපත් කරන ලද සතකුගෙ
                                                        පිට මත මිනිසා සිතුවම

                                   කණ්ඩායම් සම්පින්ඩනය” /කොටුවක් (නිවසක්) තුළ ඇති මිනිස් රූප



 මිනිස් සහ සත්ව රූප

 තලගොයා

     තන්තිරිමලේ ලෙන තුල ඇති සංකේත    

දොරවක  ප්‍රාග් ඓතිහාසික සිතුවම්


                             
                                                                    දොරවක ලෙන

දොරවක ලෙන කෑගලු දිස්ත්‍රික්කයේ බෙලිගල් කෝරළයේ වරකාපොළට නුදුරු මල්දෙනිය වතුයායේ පිහිටා ඇත. මෙහි කරණ ලද පුරාවිද්‍යාත්මක ගවේශනයන්ට අනුව එහි වසර 2000 කට පමණ පෙර ජීවත් වු නියෝතිලක මිනිසා පිළිබදව තොරතුරු සොයාගෙන ඇත.
දොරවක ලෙන ස්වාභාවික පිහිටීමකි. පළලින් අඩු උසින් අඩි 55 ක් පමණ වූ ගල් පර්වත දෙකක් ඉහලින් යාවෙන සේ ලෙනක හැඩයක් ගෙන ඇත. ඒ අනුව ලෙන ඇතුලත හිස් අවකාෂය ත්‍රිකෝණාකාර බවෙන් යුක්තය.
ජී.එෆ්.ආර්.බ්‍රෝහියර් විසින් 1919 දී සොයාගන්නා ලද මෙම ලෙනෙහි චිත්‍ර නිර්මාණය කොට ඇත්තේ පොළොවේ සිට අඩි හයහමාරක් පමණ උසකිනි. මෙහි පරවතය ඇතුලු පැත්තේ ''ඇත සහා පැටවා'' යන චිත්‍රය ඇද ඇත. ලෝහ ආයුද නොතිබි යුගයක චිත්‍රය ඇද තිබෙන්නේ ශක්තිමත් ගල් පතුරකින් බිත්ති තලය හෑරීමෙනි.

මෙහි ඇති චිත්‍ර රේඛා හා සීරීම්(Engraving) යන ක්‍රම දෙකටම අඳින ලද ඒවා වේ.මෙම ලෙනේ චිත්‍ර අතරින් විශිෂ්ට නිර්මාණයක් සේ, ඇතා සහ ඇත් පැටවා චිත්‍රය හැඳින්විය හැකිය.මාළුවා සහ මිනිස් රුව, තලගොයා නැමැති රූපය ද මෙහි ඇති වැදගත් නිර්මාණ වශයෙන් සැලකේ.ඊට අමතරව මෙහි ඉර සහ හඳ දැක්වෙන චිත්‍ර සටහනක් සහ හඳුනා නොගත් රූප කිහිපයක් ද වේ.

                                      ඇතා සහ පැටවා                       පිටපත් කරන ලද ඇතා සහ පැටවා සිතුවම


මාළුවා සහ මිනිස් රුව


බිල්ලෑව ප්‍රාග් ඓතිහාසික සිතුවම්


බිල්ලෑව ලෙන දැකිය හැකිවන්නේ උතුරු මැද පලාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේය.1951 දී එස්.යූ.දැරණියගල මහතා විසින් සොයාගන්නා ලද මෙම ලෙනෙහි, වර්ණ භාවිතා කර අඳින ලද රේඛා චිත්‍ර දැකිය හැකිවේ. මීට අමතරව බහු මාධ්‍යයෙන් නිමකල චිත්‍ර ද හමු වී ඇත.ජෝන් ස්ටීල් ට අනුව මෙහි ඇති වැදගත් නිර්මාණ වන්නේ කොටුවක් (නිවසක්) තුල දක්වන මින්ස් රූප දෙකක් සහිත සිතුවමයි.ඊට අමතරව මෙම චිත්‍ර අතර ඇත්,ගෝන සහ මොනර රූප ද විශේෂ වෙ. එමෙන්ම ජාමිතික සංකේත සහිත රූප ද දැකිය හැකිය.


 බිල්ලෑව ගුහාව

          සතකු පිට යන මිනිසා      
                                   
 සතකු පිට යන මිනිසා පිටපත්කරන ලද සිතුවම

                               මොල්ලිය සහිත ගව රුව                   
                       
 මොල්ලිය සහිත ගව රුව පිටපත් කරන ලද සිතුවම

                                      මිනිස් රූප සම්පිණ්ඩනය/කොටුවක්(නිවසක්) තුළ මිනිස් රූප

7.2.1. ඇගයීම:

1.ලංකාවේ ප්‍රාග් ඓතිහාසික චිත්‍ර හා එම යුගයේ මානවයාගේ ජීවනෝපාය ගැන කෙටි       හැදින්වීමක් කරන්න.
2. ලංකාවේ ප්‍රාග් ඓතිහාසික ලෙන් (ගුහා) 3ක් නම් කරන්න.
3.ගුහා සිතුවම් සඳහා වස්තු විෂය කරගත් තේමා හඳුන්වන්න.
4.මෙම සිතුවම් වර්ණ ගැන්වීම සඳහා යොදාගත් අමුද්‍රව්‍ය  සඳහන් කරන්න.
5.මෙම ගුහා තුල ඇති විශේෂ සිතුවම් වෙන වෙනම කාන්ඩ ගත කරන්න.
6.මෙම චිත්‍ර ඇදීම සඳහා භාවිතා කල ශිල්ප ක්‍රම මොනවාද?
7.මෙම සිතුවම් සම්පිණ්ඩනය කල ආකාරය පහදන්න.
8.මෙම සිතුවම් සඳහා මාතෘකා කර ගත් රූප වල ස්වභාවය පහදන්න.
9. ලංකාවේ ප්‍රාග් ඓතිහාසික යුගයේ මානවයාගේ කලා කුසලතාවය පිළිබිඹු වන සිතුවම් අතර දොරවක ලෙනෙහි දක්නට ඇති සිතුවම් ගැන හැඳින්වීමක් කරන්න.
10.මෙම සිතුවම් අතර දක්නට ඇති සුවිශේෂි කලාත්මක ලක්ෂණ ලෙන් අතර ඇති සිතුවම් ඇසුරු කරගෙන කෙටි පැහැදිළි කිරීමක් කරන්න.