Thursday, February 25, 2021

දේශීය ශිල්පීන්ගේ කලා නිර්මාණ

සැකසුම - සාරංග කරුණාරත්න, සුරංගි වීරසේකර

6.5.1 ක්‍රියාකාරකම

එස් . පී. චාර්ල්ස්

  • 1916 දී මාතර වැලිගමදී උපත ලබන එස් . පී. චාර්ල්ස් මාතර කොක්මාදූවේ ඒ නානායක්කාර ශිල්පියා වෙතින් චිත්‍ර කලාව හදාරයි.පසුව මරදානේ කාර්මික විද්‍යාලයට ඇතුළත් වන මොහු ජේ.ඩී. ඒ පෙරේරා යටතේ චිත්‍ර කලාව වැඩිදුර හදාරනු ලබයි.
  • 1947 වර්ෂයේදී එම විද්‍යාලයේම කථිකාචාර්ය වරයෙකු බවට පත්වන මොහු කොළඹ හෝර්ටන් පෙදෙස හේවුඩ් කලායතනය පිහිටුවීමෙන් පසු එම ආයතනයේ ප්‍රධානියා ලෙසද කටයුතු කරයි.
  • දේශීය විහාර බිතුසිතුවම් කලාව වෙනුවෙන් විශාල සේවයක් ඉටු කළ ඔහු ඒවා පිටු පත් කිරීමටත් සංරක්ෂණය කිරීමටත් පුරෝගාමී කටයුතු කරන ලද ශිල්පියෙකි.
  • ඉපැරණි කලාව සංරක්ෂණයට කළ සේවාවට අමතරව නව නිර්මාණ කරුවෙකු ලෙසටද මොහුව හැඳින්විය හැකිය.
  • දෙගල්දොරු විහාරයේ සහ මහනුවර ගංගාරාමයේ පිටපත් කළ සිතුවම් ඒ අතර ප්‍රමුඛ වේ.
  • එම සිතුවම් පිළිබඳව ශාස්ත්‍රීය ලේඛන රචනා කිරීමත් ඒවා පිටපත් කිරීමත් සංරක්ෂණය කිරීමට පියවර ගැනීම නිසා ඔහුට කලාසූරී සම්මානය ද හිමි වී ඇත.
  • මෙම සේවාවන්ට අමතරව නව නිර්මාණකරුවකු ලෙස ශිල්පීය දායකත්වය ලබාදුන් ප්‍රමුඛ නිර්මාණ කාර්යයක් ලෙස ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය හා සෙංකෝලය නිර්මාණය කිරීම හඳුන්වා දිය හැකිය.

ජාතික කොඩිය

 


  • රටක ඉතිහාසය, ප්‍රෞඩත්වය ,අභිමානය මෙන්ම ස්වාධීනත්වය ,එක්සත්භාවය සමානත්වය ද පෙන්වන ප්‍රධානතම අංගයක් ලෙස එම රටෙහි කොඩිය හදුන්වාදිය හැකිය.ඒ අනුව අප රටේ ජාතික කොඩියට ද හිමි වන්නේ සුවිශේෂී අනන්‍ය වූ අභිමානවත් ස්ථානයකි.
  • ශ්‍රී ලාංකීය වර්තමාන ජාතික කොඩිය නිර්මාණය කිරීමේදී ද ලංකාවේ පැරණි රාජධානි වල කොඩි මූලාශ්‍ර ලෙස යොදා ගනු ලැබිණි. ඒ අනුව ශ්‍රී වික්‍රම රාජසිංහ රජු භාවිතා කළ කොඩිය ප්‍රමුඛ ලෙස පදනම් කරගනු ලැබූ අතර1948 පෙබරවාරි 4 වැනි දින ඔසවන ලද්දේ මෙම ඉපැරැණි කොඩියයි.
  • පසු කාලයේ නව ජාතික කොඩිය නවීකරණය කිරීමට අදහස් මතුවෙද්දී එවකට අග්‍රාමාත්‍ය ධූරය දැරූ ඩී.එස් සේනානායක මහතා විසින් කමිටුවක් පත්කරන ලදී.එම කමිටුව විසිනි පැරණි කොඩිය සංශෝධනයට ලක් කරමින් පැරණි සිංහල කොඩිය ඇති සිංහ රුව හා බෝ කොළ සමඟ කොළ පාට හා රඹ පාට තීරුව එකතු කිරීම සිදු කරන ලදී. තවද විපුලසාර හිමියන්ගේ උපදෙස් පරිදි පැරණි ජාතික කොඩියේ තිබූ පුටු කකුල් වැනි නිෂ්ඵල සංකේත වෙනුවට බෝපත් නවීකරණය කොට නිවැරදි ආකාරයට සකස් කිරීම සිදු කරන ලදී.ප්‍රථම වරට මෙම නව ජාතික කොඩිය එසවීම 1951 මාර්තු 31 වෙනි දින පාර්ලිමේන්තුව ඉදිරිපිට දී සිදුවිය.
  • මෙලෙස ශ්‍රී ලාංකීය අනන්‍යතාවය අභිමානය පිළිබිඹු කරන ලෙස ජාතික සංකේත භාවිතා කරමින් ජාතික කොඩි නිර්මාණය වූ අතර එම ජාතික කොඩියේ වර්ණ හා සංකේත මඟින් පිළිබිඹු කරන අර්ථයන් පහත දැක්වේ.

සමස්තයක් ලෙස ගත් විට ජාතික කොඩියේ සියලුම අංගයන්ගෙන්,වර්ණයන්ගෙන් අර්ථ නිරූපණය කෙරේ.

සංකේතය අර්ථය




  • සිංහ රුවේ ඇති කහ වර්ණය - එකමුතු බව හා දැහැමි බව
  • කඩුව අතින් ගත් සිංහ රූපය - තේජස හා උත්තරීතර භාවය
  • සිංහයා පාද තුනකින් සිටගෙන සිටීම - තුන් සිංහලයේ එක්සත් බව
  • සිංහයාගේ අසිපත - පරමාධිපත්‍යය
  • ජාතික කොඩියේ කොන් හතරේ ඇති
  • බෝ කොළ සතර - සතර බ්‍රහ්ම විහරණ
  • මෙත්තා,කරුණා,මුදිතා,උපේක්ඛා යන ගුණ
  • ඇති කොළ පාට තීරුව - මුස්ලිම්, බර්ගර් හා මැලේ යන ජන කොටස්
  • රඹ පාට තීරුව - ද්‍රවිඩ ජනතාව
  • සිංහ රුව වටා ඇති තද රතු වර්ණය - සිංහල ජනතාව
  • සිංහ රුවෙහි හිසෙහි ඇති කේසර කැරලි තුන - සීල සමාධි ප්‍රඥා යන ගුණ
  • සිංහ රුවේ වලිගේ ඉදිරියට නෙරා ඇති කොටස් අට - ආර්ය අෂ්ඨාංගික මාර්ගය



සෙංකෝලය


  • සෙංකෝලය පාර්ලිමේන්තුවේ දී කථානායකවරයාගේ අධිකාරී බලය සංකේතවත් කරන නිර්මාණයයි. තවද එය පාර්ලිමේන්තුවේ සමස්ත මන්ත්‍රී මණ්ඩලයේ ද බලය සංකේතවත් කරන සංකේතය ලෙස ද සැලකේ. පාර්ලිමේන්තු සභාව ආරම්භ කිරීමට පෙර කථානායකවරයා සභා ගැබට පිවිසෙනුයේ සෙංකෝලය රැගත් වේත්‍රධාරියා පෙරටු කොට ගෙන ය. ඉන්පසුව සෙංකෝලය ප්‍රධාන ලිපිකරුගේ මේසේ මත තබා සභාවේ වැඩ අරඹනු ලැබේ.
  • සෙංකෝලය නොමැතිව සභාව රැස්වීම පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුව බලරහිත කරුණකි. දෙමළ භාෂාවෙන් සෙංකෝලය නුවෙන් අදහස් කරන්නේ ධාර්මික පාලනය යන්නය. ඒකාධිපතිත්වයේන් තොර සැවොම එකමුතුව පාලනය කිරීමක් මෙයින් හැඟවෙයි.
  • සෙංකෝලය යනු බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුව නිර්මාණය වූවකි. අතීත සාධක වලට අනුව සෙංකෝලයට සමාන දණ්ඩක් අතීත රජවරුන් ද භාවිත කොට ඇත. කුන්තායුධය,ජය කුන්තය,රාජ යෂ්ඨිය, විලාශ යෂ්ටිය, සෝලු දණ්ඩ, ලීලා දණ්ඩ යන නම්වලින් අතීතයේදී මෙය හඳුන්වා ඇත. එසේ බලන විට සෙංකෝලය සම්මුතිවාදී රාජ්‍ය පාලකයන් අතීතයේ සිටම භාවිතා කළ උපකරණයකි. වර්තමාන සෙංකෝලය බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව 1949 දී මෙරට පාර්ලිමේන්තුවට හඳුන්වා දෙන ලද්දකි.
  • මෙම සෙංකෝලය සැලසුම නිර්මාණය කිරීමේ ගෞරවය හිමි වනුයේ එස් . පී. චාර්ල්ස්ශූරීන්ට ය. තවද සෙංකෝලය නිර්මාණය කිරීම සඳහා උපදේශක මණ්ඩලයක් ද වූ අතර එහි ප්‍රධානත්වය සෙනරත් පරණවිතාන මහතා විසින් දරන ලදී.එසේම ජේම්ස්. එච්. සෙනවිරත්න,ඕ.වික්ටර් පෙරේරා ,එල්. එස්. ඊ. අමරරත්න කමිටු සාමාජිකයන් ලෙස කටයුතු කර ඇත
  • එස් . පී. චාර්ල්ස් ශූරින් විසින් අඳින ලද දළ සැලැස්මට අනුව සෙංකෝලය නිර්මාණය කරන ලද්දේ බ්‍රිතාන්‍ය රාජකීය ආභරණ නිෂ්පාදන සමාගම වූ හැරන් සමාගමයි. මෙහි නිෂ්පාදනය හා තාක්ෂණික කටයුතු ඩැනියෙල් ස්පෙන්සර් නම් ශිල්පියා අතින් සිදුවිය.
  • සෙංකෝලය නිර්මාණය කිරීමෙන් අනතුරුව එය පළමුව එංගලන්තයේ බකිංහැම් මාලිගයේ හයවැනි ජෝර්ජ්රජුටද අනතුරුව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ මන්ත්‍රී මණ්ඩලයටත් ප්‍රදර්ශනය කිරීම සිදුවිය. එම සෙංකෝලය ශ්‍රී ලාංකීය පාර්ලිමේන්තුවට ලබාදීම 1949 ජනවාරි මස 11 වැනි දින සිදුවිය. එවකට පාර්ලිමේන්තුවේ කථානායක ධූරය ශ්‍රීමත් ෆ්‍රැන්සිස් මොලමුරේ මහතා හෙබවූ අතර වේත්‍රදාරියා වූයේ එම්.ස්මායිල් මහතායි.


                           
ශ්‍රීමත් ෆ්‍රැන්සිස් මොලමුරේ මහතා


  • සෙංකෝලය නිර්මාණය කිරීමේදී දේශීය අනන්‍යතාවය මනාව ප්‍රදර්ශනය කෙරෙන සම්ප්‍රදායික සැරසිලි රටා හා ආකෘති භාවිත කර තිබේ
  • සෙංකෝලය දිගින් සෙන්ටි මීටර් 122 [අඩි 4] පමණ වන අතර මෙම නිර්මාණය සඳහා රන් රිදී මැණික් මෙන්ම මිට සාදා ගැනීම සඳහා කළුවර ලී ද භාවිත කොට තිබේ. කළුවර ලීයෙන් තැනූ මිට මධ්‍යයේ බිනර මල හා පලාපෙති රටාවලින් අලංකාර කර ඇත. කළුවර මිටට ඉහළින් පොළොන්නරු සම්ප්‍රදාය අනුව රන් හා රිදියෙන් කළ කුළුණු හිසකි.
  • එහි මූල මැණික් ඔබ්බවා ඇති මුතු දැල් රටාවකි. කුළුණු හිස මත මහනුවර සම්ප්‍රදායට අයත් හිඳගල විහාරයේ පේකඩ වල ආභාෂයෙන් රිදියෙන් කළ නෙළුම් මල සහිත පේකඩයකි. පේකඩයට පසු රිදියෙන් කළ ඝනකයකි. එහි සිවුපස ඉර හද ධර්ම චක්‍රය හා පුන්කලස ද කැටයම් කර ඇත. ඝනකය මත සෙංකෝලයේ ප්‍රධාන කොටස වන රිදියෙන් කළ සෙන්ටිමීටර් 15 විෂ්කම්භයෙන් යුතු ගෝලයෙකි. එහි මතුපිට කඩුවක් අතින් ගත් සිංහ රුවක් අල්ප උන්නතව නිර්මාණය කර ඇත. ගෝලයේ ඉහළ හා පහළ රිදියෙන් හා රනින් කළ පලාපෙති( නෙළුම් පෙති) රටාවකි. ඊට ඉහළින් කේතුකාර අටැස් පළිඟුවකි. එය චෛත්‍යයක කොත මුදුනේ ඇති චූඩා මාණික්‍ය ක හැඩය ගනි.

සෙංකෝලයේ භාවිත සැරසිලි හා සංකේත අර්ථයන්


  • සෙංකෝලය නිර්මාණය කිරීමේ දී එහි යොදා ඇති සැරසිලි දේශීය අනන්‍යතාවය පිළිබිඹු කරන අතර එම කැටයම් හැඩ ඇසුරින් විවිධ අරුත් සංකේතවත් කරයි.
  • සෙංකෝලයේ පහළ යොදා ඇති පද්මය - පවිත්‍රත්වය හා නිර්මල බව
  • පේකඩ සැරසිලි- සම්ප්‍රදායට ගරු කිරීම
  • ඝනකයෙහි කැටයම් ඉර හා හඳ - සදාතන බව
  • ධර්ම චක්‍රය - සාධාරණය හා යුක්ති සහගත බව
  • පුන්කලස - සෞභාග්‍යමත් භාවය
  • සෙන්කෝලයේ ගෝලාකාර කොටසේ නිර්මිත සිංහ රුව - ජාතියේ අභිමානය
  • සෙංකෝලයේ මුදුනේ ඇති අටස් පලිඟුව - නිර්මලත්වය හා උත්තරීතරභාවය










ඇගයීම: 6.5.1 දේශීය ශිල්පීන්ගේ කලා නිර්මාණ 

පාඩම හොඳින් කියවා බලා අසා ඇති සියලු ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න

1.      වර්තමාන ජාතික කොඩිය හා සෙංකෝලය නිර්මාණය කිරීමට මූලික වූ ශිල්පියා කවරෙක්ද?...........................................................

2.      ජාතික කොඩියේ දැක්වෙන වර්ණ හතර කුමක්ද…………………….

3.     
වර්ණයන්ගෙන් නිරූපණය වන්නේ කුමන ජනතාවක් දැයි පහත දැක්වෙන වර්ණය ඉදිරියේ දක්වා ඇති තිත් ඉර මත ලියන්න.

රතු වර්ණය      - …………………………....

රඹ වර්ණය      - …………………………....

කොළ වර්ණය - …………………………….

4.      ජාතික කොඩියේ ඇති බෝ කොළ සතර මගින් නිරූපනය වන්නේ කුමක්ද?........................................................................

5.      වර්තමාන ජාතික කොඩිය වශයෙන් සැලකෙන තීරු සහිත කොඩිය නිර්මාණය කරන ලද වසර කුමක්ද?........................................................

6.      සෙංකෝලය මගින් සංකේතවත් කරනු ලබන්නේ කුමක්ද? …………………..

7.      සෙංකෝලය හඳුන්වාදෙනු ලැබූ වසර කුමක්ද? ………………………

8.      සෙංකෝලයේ  මිට සාදා ඇති ලී වර්ගය කුමක්ද? ………………………………..

9.      සෙන්කෝලයේ හි දැක්වෙන සෞභාග්‍යය සංකේතවත් කරන කැටයමක් නම් කරන්න. …………………………………………………………

10.
සෙංකෝලය මුදුනේ ඇති අටැස් පළිඟුව මගින් සංකේතවත් කරන්නේ කුමක්ද?

 

11. වර්තමාන සෙංකෝලේ ස්වරූපය සහිත සෙංකෝලයක් අතීත සිංහල රාජ සභාව භාවිතා කළ ඇති අතර හැඳින්වූ නම් කුමක්ද? ………………………………………..