Saturday, December 26, 2020

සාම්ප්‍රදායික සත්ව රූප අධ්‍යයනය කරමු

  සැකසුම: අශානි රත්නසූරිය, සුරංගි වීරසේකර,
                                                                           
7.4.1 කාර්ය පත්ත්‍රිකාව

  • සිංහල සැරසිලි මෝස්තර කලාවේ සැරසිලි රාශියක් ඇත. මෙම මෝස්තර ප්‍රධාන වශයෙන් කොටස් හතරකට බෙදේ.එනම්, 
  1. දිව්‍ය
  2. සත්ව
  3. උද්භිද
  4. නිර්ජීවී වේ .
  • ඉහත දක්වා ඇති මෝස්තර ඒකක වලින් උද්භිද, නිර්ජීවී ගණයට අයත් මෝස්තර ඒකක පිළිබඳව 6,7 ශ්‍රේණිවල දී ඉගෙන ගත් අතර 8 ශ්‍රේණියේ දී සත්ව ගණයට අයත් මෝස්තර ඒකක පිළිබඳ උගනිමු. 


දේශීය සාම්ප්‍රදායික සත්ව රූප හා ඒවායේ භාවිතය

හංසයා


  • සාම්ප්‍රදායික බිතුසිතුවම්, ලී කැටයම් ,ගල් කැටයම් ,ඇත් දත් කැටයම්, රන්, රිදී ,පිත්තල භාණ්ඩ සහ ආභරණ පුස්කොලපොත් කම්බ, වඩිම්බු උළු කැට

හංස පූට්ටුව
  • සාම්ප්‍රදායික බිතුසිතුවම්, ලී කැටයම්, ඇත්දත් කැටයම්, රන්, රිදී ,පිත්තල භාණ්ඩ සහ ආභරණ , පුස්කොළ පොත් කම්බ


සිව් හංස පූට්ටුව
  •  සාම්ප්‍රදායික බිතුසිතුවම්( මහනුවර දළදා මාලිගාවේ පල්ලේ මාලයේ සිවිලිම් චිත්‍ර) 



සිංහයා
  • සාම්ප්‍රදායික බිතුසිතුවම්, ලී කැටයම්, ගල් කැටයම්, වඩිම්බු උළු කැට, රන් රිදී සහ පිත්තල භාණ්ඩ    


ඇතා ,අශ්වයා, ගවයා, ගිරවා, මොණරා, නාගයා
  • සාම්ප්‍රදායික බිතුසිතුවම්, ගල් කැටයම්, ලී කැටයම් සහ පිත්තල ආදිය





යාලි
  • ලී කැටයම්, ගල් කැටයම්



ඇත් කඳ ලිහිණියා, භේරුණ්ඩ පක්ෂියා, ගජසිංහ, සරපෙන්දියා
  • සාම්ප්‍රදායික බිතුසිතුවම්, ලී කැටයම්, ගල් කැටයම් සහ පිත්තල භාණ්ඩ 





සත්ව රූප සැරසිලි ඒකක වල දැකිය හැකි විශේෂ ලක්ෂණ
  • සෑම සත්ව රූප සැරසිලි ඒකකයක්ම ස්වභාවික සත්ව රූප එකක් හෝ කිහිපයක් යොදාගෙන ශෛලිගත ආකාරයට මෝස්තරානුකූලව නිර්මාණය කර ඇත.
  • යොදාගනු ලබන මාධ්‍යයට හා කලා කෘතියේ ස්වභාවයට සහ තලයට ගැලපෙන ආකාරයට රූප සම්පිණ්ඩනය කර ඇත.

සත්ව රූප සැරසිලි සුලභව දැකිය හැකි ස්ථාන

  •  ලී කැටයම්
  1. අම්බැක්කේ දේවාලය, හින්දු කෝවිල්


  • පුස්කොළ පොත් කම්බ සිතුවම්
  1. කොළඹ ජාතික කෞතුකාගාරය ආදී ස්ථාන


  • බිතුසිතුවම්
  1. මහනුවර දළදා දලදා මාලිගය, හින්දු කෝවිල්



  • රන් රිදී සහ පිත්තල කැටයම්
  1. මහනුවර සහ කොළඹ ජාතික කෞතුකාගාරය ආදී ස්ථාන



පහත සඳහන් ප්‍රශ්න වලට පිළිතුරු සපයා වෙනම ගොනුවක් සේ සකස් කරන්න.

7.4.1 ඇගයීම

1) දේශීය සාම්ප්‍රදායික සැරසිලි වල ඇතුලත් සත්ව රූප හා ඒවායේ භාවිතය පිළිබඳව වගුවක් සකස් කරන්න.

2) එම සත්ව රූප සඳහා යොදා ගත් මාධ්‍ය පිළීබඳ හැදින්වීමක් කරන්න

3) සත්ව රූප සැරසිලි ඒකක වල දැකිය හැකි විශේෂ ලක්ෂණයක් නම් කරන්න.

4) සත්ව රූප සැරසිලි දැකිය හැකි ස්ථාන දෙකක් නම් කරන්න.

5) මෙම සියලුම සත්ව රූප සටහන් ඔබගේ සටහන් පොතේ ඇදීමට උත්සාහ කරන්න.

Wednesday, December 23, 2020

පාරම්පරික පිත්තල කලා කර්මාන්තය

  සැකසුම: අශානි රත්නසූරිය, සුරංගි වීරසේකර,

6.3.1 කාර්ය පත්ත්‍රිකාව














  • පිත්තල කලා කර්මාන්තය ශ්‍රී ලංකාවේ සිංහල හා දමිළ ජනතාව අතර ප්‍රචලිතව පවතින කලා කර්මාන්තයකි.
  • පිත්තල භාණ්ඩ නිර්මාණය ශ්‍රී ලාංකිකයන් අතර වඩාත් ජනප්‍රියත්වයට පත්වන්නේ 18 වන සියවසේදී ය.
  • තඹ ( Copper ) හා තුත්තනාගම් ( Sinc ) එකතුවෙන් පිත්තල නිෂ්පාදනය කෙරේ.
  • විවිධ අවශ්‍යතා සඳහා පිත්තල භාණ්ඩ නිර්මාණය කර තිබේ.එම ප්‍රධාන කාන්ඩ කීපයක් පහතින් දක්වා ඇත. 
  1.    පාරිහාරික භාණ්ඩ: තට්ටු පහන්, පඩික්කම්, ගිර, කළගෙඩි , සෙම්බු, ගුරුලේත්තු, කොතල, බන්දේසි,         ආභරණ පෙට්ටි,සෙරක්කාල ( ආහාර ගැනීමේදී පිඟාන තබා ගැනීමට භාවිත වන භාණ්ඩයකි)
  2.    ගොඩනැගිලි සහ ගෘහ භාණ්ඩ සඳහා භාවිත ද්‍රව්‍ය: ඇණ හා සරනේරු , යතුරු තහඩු සහ මූණත් තහඩු   යතුරු
  3.    ආගමික කටයුතුවලට අවශ්‍ය භාණ්ඩ: ධාතු කරඬු, චෛත්‍ය කොත්, බුදු පිළිම, පාත්‍රා, සේසත්, සීනු
  4.    අලංකරණ භාණ්ඩ: බිත්ති සැරසිලි , සත්තව රූප
  • · තලන වැඩ හා වාත්තු වැඩ යනුවෙන් ප්‍රධාන ක්‍රම දෙකක් යටතේ පිත්තල භාණ්ඩ නිර්මාණය වේ.
  1.    තලන වැඩ ( තහඩු වැඩ ): පිත්තල තහඩු උපයෝගී කොටගෙන කරනු ලබන භාණ්ඩ නිර්මාණය
  2.    වාත්තු වැඩ: මෙය ක්‍රමවේද දෙකක් යටතේ සිදු කරනු ලැබේ.
  •    ඉටි වාත්තු ක්‍රමය
  •    පස් වාත්තු ක්‍රමය

තලන වැඩ



ඉටි වාත්තු ක්‍රමය 



  • · ගල් කුඩු හා මැටි වලින් මූලික හැඩය සකස්කර ගැනීම.
  • · ඉටි වලින් ආවරණය කොට මූලික හැඩය මතු කිරීම.
  • · ඉටි ඉවත් කර ගැනීමට සිදුරක් ද සහිතව නැවත් ගල් කුඩු සහ මැටි මිශ්‍රණයකින් ආවරණය සකස් කරනු ලැබේ.
  • · වියළුණු පසු රත් කර සිදුරෙන් ඉටි ඉවත් කර ගනී.
  • · අවසන් වශයෙන් පිත්තල උණුකර අච්චුවට වත්කොට භාණ්ඩ නිර්මාණය කරනු ලැබේ.

පස් වාත්තු ක්‍රමය 


  • හතරැස් ලී රාමු සකස් කිරීම.
  • එම රාමු තුළට ගල් කුඩු හා මැටි කුඩු වලින් සකස් කරගත් මිශ්‍රණයක් දමා හොඳින් තද කොට අච්චුවක් සකස් කර ගැනීම.
  • සකසා ගත් එම අච්චුවට උණු කරගත් පිත්තල වත්කොට භාණ්ඩ නිර්මාණය කරනු ලැබේ.

    භාණ්ඩ අලංකරණ ක්‍රම
  • පිත්තල තහඩු ක්‍රමයට නිර්මාණය කරන භාණ්ඩ පීර, නියන්, උල් කටු වැනි උපකරණ භාවිතයෙන් ඔප දමා කැටයම් කරනු ලැබේ
  • සැරසිලි කිරීමට ලිය වැල, අන්නාසි මල, භේරුණ්ඩ පක්ෂියා, හංස පූට්ටුව, ඉර හඳ රූප, පලා පෙති වැනි සිංහල සැරසිලි මෝස්තර බහුලව යොදා තිබෙනු දක්නට ලැබේ.
  • සැරසිලි මෝස්තර යෙදීමේදී යකඩ, තඹ, රන් , රිදී වැනි ලෝහ ද අවශ්‍යතාව අනුව මිශ්‍ර කිරීම සිදු කරයි.


                                                                            ඉර හද
 




                                                                           ලියවැල්
    ශ්‍රී ලංකාවේ පිත්තල කලා කර්මාන්තය පවත්නා ප්‍රදේශ
  • මහනුවර - පමුණුව, ගඩලාදෙණිය , පිළිමතලාව , කිරි වවුල, දවුලගල, න්ත්තරම්පොත ( කලා පුරය )
  • මාතර - බෙලිඅත්ත ප්‍රදේශයේ අඟුල් මඩුව
  • යාපනය - වන්නාර් පන්නෙයි
  • මඩකලපුව - පෙරියපෝරතිව්

පහත සඳහන් ප්‍රශ්නවලට පිළිතුරු සපයා වෙනම ගොනුවක් සේ සකස් කරන්න.

6.3.1 පැවරුම

  1. මෙම කර්මන්තය ලංකාවේ වඩාත් ජනප්‍රියත්වයට පත්වන්නේ කුමන සියවසේදීද.?
  2.  එදිනෙදා අවශ්‍යතා සදහා පරිහරණ්ය කරන පාරිහාරික භාණ්ඩ 5 ක් නම් කරන්න.
  3. පිත්තල නිෂ්පාදනයට ගන්නා අමුද්‍රව්‍ය මොනවාද ?
  4. පිත්තල භාණ්ඩ නිර්මාණය කරනු ලබන ප්‍රධාන ක්‍රමවේද නම් කරන්න.
  5. ඉටි වාත්තු ක්‍රමය පිළිබඳව පැහැදිලි කරන්න .
  6. තලන වැඩ යටතේ නිර්මාණය වන භාණ්ඩ මොනවාද?
  7. පස් වාත්තු ක්‍රමය පියවර ලෙස දක්වන්න,
  8. පිත්තල භාණ්ඩ අලංකරණයේදී භාවිතා කරන සැරසිලි වර්ග නම් කරන්න .
  9. ලංකාවේ පිත්තල කර්මාන්තය පවතින ප්‍රදේශ 5ක් ලියන්න
  10. සිංහල සැරසිලි මෝස්තර භාවිතා කොට පිත්තල බන්දේසියක් ඇඳ වර්ණ කරන්න.



Tuesday, December 22, 2020

උද්භිද ගණයට අයත් සැරසිලි හඳුනාගනිමු

 සැකසුම: අශානි රත්නසූරිය, සුරංගි වීරසේකර,

7.3.1 කාර්ය පත්ත්‍රිකාව






  • දේශීය සාම්ප්‍රදායික සැරසිලි මෝස්තර ප්‍රධාන කොටස් හතරකි.

  1.   දිව්‍ය
  2.    සත්ව
  3.   උද්භිද
  4.   නිර්ජීවී

  • ඉහත සැරසිලි මෝස්තර අතරින් උද්භිද ගණයට අයත් තෝරාගත් සැරසිලි නිර්මාණ කිහිපයක් පිළිබඳ විමසා බලමු.

උද්භිද සැරසිලි


  • පුෂ්ප, පත්‍ර, ඵල උපයෝගී කර ගනිමින් නිර්මාණශීලී ව ගොඩනගන ලද මෝස්තර ඒකක උද්භිද ගණයට අයත් වේ.
  • මහනුවර යුගයේ උද්භිද සැරසිලි කල්පිත හා සම්මත ලෙස කොටස් දෙකකට බෙදා දැක්විය හැකිය. පිච්ච මල, නෙළුම් මල, වැටකේ මල, අන්නාසි මල, සපු මල, ලිය වැල හා පලා පෙති සම්මත මෝස්‌තර ලෙස දැක්විය හැකි අතර පරසතු මල, නාරි ලතා මල, කඩුපුල් මල, මහරි හා කතිර මල මෙම යුගයේ යොදා ගත් කල්පිත උද්භිද මෝස්‌තර වෙයි. පරිසරයේදී හමුවන මල් පැලැටි ආශ්‍රයෙන් මෙම මෝස්‌තර නිර්මාණය කර ඇත.
  • මෙම නිර්මාණ විහාර බිතුසිතුවම්, ගල් කැටයම් හා ලී කැටයම් සඳහා ද භාවිතා කර ඇත.
  • දළදා මාළිගය, ගංගාරාම විහාරය (ලේවැල්ල), දෙගල්දොරු විහාරය ආදී පූජනීය ස්ථානවල මෙන්ම මහනුවර යුගයේ බොහෝ විහාරස්ථාන සිතුවම් වල මෙම මෝස්තර දැකිය හැකිය.
  • ඇම්බැක්ක දේවාලයේ ලී කැටයම් සඳහාද උද්භිත නිර්මාණ භාවිතා කර ඇත.
  • මෙම සැරසිලි බොහෝ විට භාවිතා කරනු ලබන්නේ සිතුවම් වල හිස්තැන් පිරවීමට ය.

අන්නාසි මල

මෙම සැරසිල්ලේ මැද ඇති හරස් කැපුම නිසා මෙය අන්නාසි මල ලෙස හඳුන්වනවා විය හැකිය.මෙහි පත්‍ර අන්නාසි පත්‍ර මෙන් නොව ලිය වැලක ස්වභාවයෙන් ඇඳ ඇත.අන්නාසි මල් මෝස්තරය බෙහෙවින් යෙදී ඇත්තේ පිත්තල හා රිදී භාණ්ඩ අලංකාර කිරීම සඳහායි.

  නෙලුම් මල්

 

නෙළුම් මල බොහෝ අවස්ථාවල නිර්මාණවලදී ප්‍රයෝජනයට ගත් පුෂ්පයකි.පවිත්‍රතාවය සංකේතවත් කිරීමට යොදාගන්නා නෙළුම් මල බෞද්ධ කලා නිර්මාණ වලදී පූජනීයත්වය නිරුපණය කීරීමට යොදා ගැනුණි. සිංහල නිර්මාණ ශිල්පීන් නෙළුම් මල වෘත්තාකාර හැඩයෙන් නිර්මාණය කර ඇත.නෙළුම් මලේ පෙති බොහෝවිට 4, 8 ,16 ආදී ඉරට්ටේ සංඛ්‍යා වලින් යුතු බව පෙනී යයි. ලී කැටයම් හා ගල් කැටයම් සදහා නෙළුම් මල යොදාගත් අතර බිතුසිතුවම් වල හිස්තැන් පිරවීම සඳහාද යොදා ගැනුණි.

  සපු මල


ස්වභාවික සපු මල ට සමාන ලෙස නිර්මාණය කර ඇත.මහනුවර යුගයේ විහාර බිතුසිතුවම් වල අවකාශය පිරවීමට බහුලව යොදාගෙන ඇත.





වැටකේ මල

සරල රේඛා කරණයක් මගින් ස්වභාවිකත්වයට සමීප ලෙස නිර්මාණය කර ඇති මෝස්තරය ඒකකයකි.නමුත් පූර්ණ වශයෙන් ස්වභාවික නැත. ලංකාතිලකය, මැදවල, දෙගල්දොරුව ආදී විහාරවල වැටකේ මල දැකිය හැකිය.





කඩුපුල් මල

පාලි භාෂාවෙන් "කුමුදුප්පල" ලෙස ද සිංහල භාෂාවෙන් "දිවමහනෙල්" ලෙස ද හඳුන්වා ඇත.මල් පොහොට්ටු,ලියපත්,අරිම්බු හා පතුරු යන හැඩ භාවිතා කර මේ නිර්මාණය කර ඇත. කඩුපුල් නා ලොවට අයත් පුෂ්පයක් ලෙස සංකල්පයක් පවතියි.නිර්මාණකරණයේදී මෙය හිස්තැන් පිරවීම සඳහා යොදාගෙන තිබෙයි. කහ, රතු, කළු යන වර්ණවලින් මෙය අලංකාර ලෙස වර්ණගන්වා තිබෙයි.

 




පිච්ච මල

ස්වභාවික පිච්ච මලේ මූලික හැඩය ගෙන නිර්මාණය කර ඇත. පිච්ච මල උතුම් මලක් ලෙස සැලකෙන නිසා දේව රූප පසුබිම සඳහා යොදාගෙන ඇත.බොහෝ විහාරවල පින්සල පමණක් භාවිතා කොට කළු පසුබිමක සුදු පැහැයෙන් මෙම මල ඇඳ ඇත.





බිනර මල

මේ සැරසිල්ල පහත රට ප්‍රදේශයේ දී හඳුන්වන්නේ "කිණිහිරියා"නම් නමිනි.ලී කැටයම් අතර බහුලව දැකිය හැකිය .ඇම්බැක්කේ දේවාලයේ කණු වල පේකඩ බිනර මල් කැටයම් කර තිබේ.






කතිරි මල

මෙය "කතිර මල" ලෙස ද හඳුන්වයි.අන්නාසි මලට සමාන කමක් දක්වයි. නමුත් අන්නාසි මලමෙන් සුපිපුනු මලක් නොව පිපීගෙන එන පෙති හයකින් යුතු මලකි. මැද පිහිටා ඇති පෙති, කතුරක් හෝ කතිරයක් සේ විහිදී ඇත. මල මැද කර්ණිකා ලක්ෂණයකි.





සීන මල

සිංහල සැරසිලි කලාවේ මූලික අභ්‍යාසයක් වන වකදෙක හා ලිය පත මෝස්තරය ඇසුරින් නිර්මාණය කර ඇත. දඹුලු විහාරයේ සීන මල් මෝස්තර රාශියක් දැකගත හැක.






පලාපෙති

නෙළුම් පෙති උපයෝගී කරගෙන මෙම සැරසිලි මෝස්තරය නිර්මාණය කර ඇත. බොහෝ විට මෙම නිර්මාණය භාවිතා කර ඇත්තේ වාටියක් හෝ අයිනක් සැරසීමටය.පලාපෙති මෝස්තර විශාල සංඛ්‍යාවක් ඇති අතර යොදන ස්ථානය හෝ භාණ්ඩයේ හැඩය අනුව මෝස්තරය සකසා ගනියි.

ලියවැල්

මල්, කොළ, ගැට, කරු ආධාරයෙන් ලියවැල ගොඩනඟා ඇත.තනි වැල, වැල් දෙක, ලොකු හෝ කුඩා ලෙස සරලව මෙන්ම සංකීර්ණ වද ලියවැල් මොස්තර දැක ගත හැකිය.සුලිවැලේ ආභාෂයෙන් ගොඩනැගුණු නිර්මාණයක් බව හඳුනා ගත හැකිය. භාවිතා කරන හැඩතලය ට ගැලපෙන ලෙස නිදහසේ ලිය වැල් නිර්මාණය කර ඇත.

  පිච්ච වැල


පහත සඳහන් ප්‍රශ්න වලට පිළිතුරු සපයා වෙනම ගොනුවක් සේ සකස් කරන්න.
7.3.1 පැවරුම

1) සාම්ප්‍රදායික සැරසිලි කොටස් කීයද? නම් කරන්න.

2) උද්භිත මෝස්තර යනුවෙන් හඳුන්වන්නේ මොනවාද?

3) උද්භිත සැරසිලි නිර්මාණ කොටස් දෙකකි.ඒ මොනවාද ?

4) එම කොටස් දෙකට අයත් සැරසිලි වෙන වෙනම නම් කරන්න

5) සිංහල භාෂාවෙන් "දිව මහනෙල්" ලෙස ද පාලි භාෂාවෙන් "කුමුදුප්පල" ලෙසද හඳුන්වන්නේ කුමන සැරසිලි මෝස්තරය ද ?

6) පලාපෙති මෝස්තරය බොහෝවිට යොදාගත් අවස්ථා දෙකක් නම් කරන්න.

7) ලියවල් මොස්තරය නිර්මාණය සඳහා ආධාර කර ගත්තේ මොනවාද?

8) මෙම සැරසිලි දැකිය හැකි විහරස්ථාන තුනක් නම් කරන්න.

9) ලී කැටයම් සදහා මෙම සැරසිලි යොදා ගත් ස්ථානයක් නම් කරන්න.

Monday, December 21, 2020

පන් හා නියඳ කලා කර්මාන්තයට අයත් නිර්මාණ අගයමු

  සැකසුම:සුරංගි වීරසේකර, අශානි රත්නසූරිය

6.4.1 කාර්ය පත්ත්‍රිකාව


පන් හා නියඳ පැදුරු කලා කර්මාන්තය 

·         අතීතයේ මිනිසා තමන් වාසය කළ පරිසරයෙන් පහසුවෙන් සපයාගත හැකි අමුද්‍රව්‍ය භාවිතා කරමින් තමාට එදිනෙදා අවශ්‍ය දේ තමන් විසින්ම නිර්මාණය කරගනු ලැබුවා.එසේ තම එදිනෙදා ජීවිතයේ දී භාවිතයට ගන්නා "පැදුර" අතීතයේ මිනිසා තමන් විසින්ම නිර්මාණය කරගෙන ඇත.

·         කෘෂිකර්මාන්තය මූලික කරගත් සරල දිවියක් ගෙවූ ඔවුන් වගා බිමෙන් නෙළාගත් ධාන්‍ය වියලීම, නිදා ගැනීම වැනි කාර්යයන් සඳහා මුල් කාලයේ සත්ව හම් භාවිත කරන්නට ඇත.

·         පසුකාලීනව ඔවුන් පන් හා නියද කෙඳි භාවිතා කරමින් පැදුරු සකස් කර ගනු ලැබුවා.පන් හා නියඳ ආශ්‍රිත කලා නිර්මාණ ශ්‍රී ලංකාවේ අතීතයේ සිට පැවත එන ගැමි කලාවකි.එම නිර්මාණ ප්‍රධාන වර්ග දෙකකි .

  1.           නියඳ පැදුරු (කළාල)
  2.           පන් පැදුරු

·         මෙම කර්මාන්තය සඳහා විවිධ අමුද්‍රව්‍ය භාවිතා කළ ද වර්ණ යෙදීම සෑම ප්‍රදේශයකම පාහේ පොදු බවක් දැකිය හැකිය.

  •  රතු - පතඟි දැව හා කොරකහ කොළ භාවිතයෙන්
  •  කහ - වෙනිවැල්ගැට හෝ අමු කහ භාවිතයෙන්
  •  කොළ - කනේරු කොළ, ලුණුමිදෙල්ල, කැලෑ කොහොඹ භාවිතයෙන්
  •  කළු - අරළු බුළු කොටා තම්බා ගැනීමෙන්

·         මෙම නිර්මාණ සිදු කරනු ලබන්නේ විවීමේ ශිල්ප ක්‍රමය අනුවයි.


දුම්බර පැදුරු /නියඳ පැදුරු කර්මාන්තය

·         අතීතයේ පටන් නියඳ පැදුරු කර්මාන්තයට ප්‍රසිද්ධියක් උසුලන්නේ මහනුවර දුම්බර ප්‍රදේශයයි.මේ කලා කර්මාන්තයේදී කළාල නිර්මාණය කරනු ලබන මාධ්‍යය වන්නේ නියඳ කෙඳිය.

·         නමුත් වර්තමානයේ දී නියඳ ශාකය දුර්ලභ නිසාත් හණ පත්‍ර වලින් වැඩි කෙඳි ප්‍රමාණයක් ලබා ගැනීමට පහසු නිසාත් ආදේශකයක් ලෙස හණ කෙඳි භාවිතා කෙරේ.

·         නියඳ ගසේ පත්‍ර වලින් ලබාගත් කෙඳි භාවිතා කර සරල උපකරණයක් භාවිතා කිරීම මගින් කළාල නිර්මාණය කරයි.

·         නියඳ කළාල හෙවත් නියඳ පැදුරු ප්‍රධාන කොටස් තුනකි.

  1.           පන්නම් කළාල ( සාමාන්‍ය පැදුරු)
  2.           වැඩ කළාල (මිශ්‍ර සැරසිලි සහිත පැදුරු)
  3.           කුරුලු කළාල (කුරුලු හැඩ සහිත පැදුරු 

 හණ පත්‍රවලින් කෙඳි ලබා ගැනීම  


                    හණ කෙඳිවලින් කළාල විවීම


දුම්බර /නියඳ පැදුරු රටා 




පන් පැදුරු කර්මාන්තය






·         අතීතයේ ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකම පන් පැදුරු කර්මාන්තය පැතිරී තිබුණි.පන් කර්මාන්තයේ යෙදෙන්නන් "කින්නර"යන නමින් හඳුන්වයි.

·         වර්තමානයේ දී කළුතර, ගාල්ල, ගම්පහ,රත්නපුර,මඩකලපුව යන ප්‍රදේශවල පන් පැදුරු කර්මාන්තය ප්‍රචලිතය.


පන් පැදුරු කර්මාන්තයේදී භාවිතා වන සැරසිලි රටා

  •  තනිපට ලණුව,දෙපට ලණුව
  • කදුරු මල ,අවුල්හැරේ, වංකගිරිය ,මාස දොළහ, රත්වත්තේ අලංකාරය, තාරකා පෙත්ත
  • සත්ව සැරසිලි - අලියා, කුරුල්ලා, නයි පොරේ,මුවා ,මකුළු රටාව


දකුණේ පන් පැදුරු රටා

 

මඩකලපු පන් පැදුරු රටා වර්ග

·         මඩකලපු දිස්ත්‍රික්කයේ වාලච්චේනෙයි, කල්ලාරු ,කාන්තාන්කුඩි, ඒරාවුර් ආදී ගම්මාන පන් පැදුරු කලාවට ප්‍රසිද්ධය.

·         වර්ණ ගන්වන ලද පන් වියන ප්‍රධාන රටා වර්ග දෙකකි.

  1. ඔන්ඩිප්පායි -සම චක්‍රරත්නය සෘජුකෝණාස්‍රය සෘජුකෝනාස්‍රය ත්‍රිකෝණය වැනි ජාමිතික හැඩතල වලින් යුක්ත රටා
  2. පූනිප්පායි- සමාන්තර රටා ( සමමිතික ක්‍රමවත් බවකින් යුක්ත රටා .
  •       ඉහත දෙවර්ගයම ඇතුළුව රටා  30කින් පමණ පැදුරු විවීම සිදු කරනු ලැබේ.





පහත සඳහන් ප්‍රශ්නවලට පිළිතුරු සපයා වෙනම ගොනුවක් සේ සකස් කරන්න.

6.4.1 ඇගයීම

1)      පන් හා නියඳ වර්ණ ගැන්වීමේ දී වෙනිවැල්ගැට හෝ අමු කහා මගින් සාදාගන්නා වර්ණය කුමක්ද?

2)      කොළ පැහැය ලබා ගැනීමට යොදා ගන්නා අමුද්‍රව්‍ය මොනවාද?

3)      පන් හා නියඳ පැදුරු කර්මාන්තයේ දී භාවිත වන ශිල්ප ක්‍රමය කුමක්ද?

4)      වර්තමානයේ දී නියඳ ශාකය වෙනුවට භාවිතා කරනු ලබන ආදේශකය කුමක්ද?

5)      නියද කලාල හෙවත් නියඳ පැදුරු ප්‍රධාන කොටස් තුනකි. ඒ මොනවාද ?

6)      පන් කර්මාන්තයේ නියැලී සිටින පුද්ගලයන් හඳුන්වනු ලබන්නේ කුමන නමකින්ද?

7)      අතීතයේ සිට නියඳ පැදුරු නිර්මාණයට ප්‍රසිද්ධියක් උසුලන්නේ කුමන ප්‍රදේශයේද?

8)      පන් පැදුරු සඳහා ප්‍රසිද්ධ ප්‍රදේශ 4ක් නම් කරන්න.

9)      පන් පැදුරු කර්මාන්තයේදී භාවිතා කළ සැරසිලි රටා 5ක් නම් කරන්න.

10)  මඩකලපු පන් පැදුරු සඳහා ප්‍රසිද්ධ ප්‍රදේශ 4ක් නම් කරන්න.