Sunday, February 28, 2021

ඊජිප්තු මූර්ති හා චිත්‍ර නිර්මාණ


සැකසුම -කේ. වත්සලා සුභාෂිණී කුමාරි

7.4.1 ක්‍රියාකාරකම


  • අහස උසට නැගි මහා ස්මාරක පෙළක්ද , කඳුගැට ඇතුළට හාරා තැනූ දේවස්ථාන පෙළක්ද , සුවිශාල වූ මනුෂ්‍ය රූප මෙන්ම අලංකාර වූ සිතුවම් රාශියක්ද ලොවට දායාද කළ විශිෂ්ට වූ සංස්කෘතියක් නයිල් ගංගාධාරයේ ආරම්භ විය. ලෝකයේ ඉපැරණිම ශිෂ්ටාචාරයක් වූ මෙය ක්‍රි.පූ. 3000 - 30 අතර කාල පරාසයට අයත් වේ. ඉසුරුමත් වූත්, අද්භූත වූත්, ගුප්ත වූත්, කලාත්මක වූත්, මිසර ශිෂ්ටාචාරයේ ඇතැම් දේ අදටත් ලොවට අභිරහසකි.
  • පාරාවෝ රජ පෙළපතකින් මිසරය පාලනය කෙරුණි. කලාකරුවන්, එඩේරවරුන්, දඩයම්කරුවන්, වහලුන් ලෙසින්ද වැසියෝ දිවිපෙවෙත ගත කළහ. ඒ නිසා මෙම කලාවේ වැඩි වශයෙන් දක්නට හැකි වූයේ ස්වාධීන කලා කෘතීන්ට වඩා රාජකීයයන්ගේ නියමයෙන් බිහිවූ කලා කෘතිය. ඊජිප්තු පාරාවරුන්ගේ බල පරාක්‍රමය ලොවට කියාපාන පිරමීඩ, ගෘහ නිර්මාණ, චිත්‍ර මූර්ති, ආදී කලා නිර්මාණ ඉදිවූයේ එහි ප්‍රතිඵලයක් ලෙසය.
  • හිරු, සඳු මෙන්ම මරණින් පසු ජීවිතය පිළිබඳ තදින්ම ඇදහූ ජාතියක් ලෙස මිසර වැසියා හැඳින්විය හැකිය. මරණින් පසු ජීවිතය ඇදහීම නිසාම මළමිණි ආරක්ෂා කිරීමේදී ක්‍රමවේද ඔවුහු දැන සිටියහ. මෙම මළමිණි ‘මමි’ නම් විය. කල්පිත සංකල්ප මෙන්ම ජන ජීවිතයේ විවිධ සිද්ධි , රජවරුන්, බිසෝවරුන් හා සබැඳි සිද්ධි මිසර ගෘහ නිර්මාණ අතර දක්නට ලැබේ. අමර්ණා, ගීසා හා තීබ්ස් යන නගර ආශ්‍රිතව ඊජිප්තු නිර්මාණ රැසක් හමුවේ.
  • මිසර ශිෂ්ටාචාරයේ හමුවන වැදගත්ම වාස්තු විද්‍යාත්මක නර්මාණය වන්නේ පිරමීඩයයි. මොවුහු මළමිනි තැන්පත් කළ ස්ථානයේ බංකුවක හැඩය ගත් පස් ගොඩක් සකස් කළහ. එය හඳුන්වා ඇත්තේ මස්ටාබා නමිනි. මෙම මස්ටාබා ක්‍රමිකව විකාශනය වීමෙන් පසුව පිරමීඩ ඉදිවිය.


ඊජිප්තු මූර්ති

ස්පින්ක්ස් ( SPHINX)

  • මිනිස් හිසක් හා සිංහ ශරීරයකින් යුක්තය.
  • ක්‍රි.පූ. 2440 ට අයත් වේ.
  • කුෆූ පිරමීඩය ඉදිරිපිට පිහිටා ඇත.
  • උසින් අඩි 66ක් පළල අඩි 240 කි.
  • ඊජිප්තු කලාවේ සුවිශේෂ මූර්තියක් වූ ප්‍රධාන පිරමීඩය ඉදිරිපිට පිහිටි ( GRATE SPHINX) මහාස්පින්ක්ස් නම් මූර්තිය විශේෂය.
  • මිනිස් මුහුණක් සමඟ සිංහ ශරීරය එකට බද්ධ කිරීමෙන් සැකසුණු මෙම ‘ස්පින්ක්ස්’ ඊජිප්තු කලාවේ කල්පිත මූර්ති සඳහා දිය හැකි කදිම නිදසුනකි.
  • පාරාවරුන්ගේ තෙද බල පරාක්‍රමය මෙන්ම ආරක්ෂාව පිළිබඳ සංකල්පය නිරූපණය කරන බව විචාරක මතයයි
ලියන්නා හෙවත් ස්ක්‍රයිබ් ( SCRIBE)

  • ස්වාමියා පවසන දේ ලිවීමට සැරසී සිටින ආකාරය නිරූපිතය.
  • ඊජිප්තු මූර්ති කලාවේ පැරණි යුගයට අයත් නිර්මාණයකි.
  • ප්‍රංශයේ ලූවර් කෞතුකාගාරයේ තැන්පත් කර ඇති මෙය ඊජිප්තු මූර්ති කලාවේ විශිෂ්ට නිර්මාණයකි.
  • හුණු ගලින් කර ඇත.
  • අඩි 2ක් පමණ උස වූ මෙය ත්‍රිකෝණාකාර ආකෘතියකින් යුතුය.
  • මාධ්‍ය දැව වේ.
  • පූර්ණ උන්නත ශිල්ප ක්‍රමය භාවිතා කර ඇත.
  • ක්‍රිස්ටල් වර්ගයේ ගලින් ඇස්වල කුහර පුරවා ඇත.
  • ක්‍රි.පූ. 2600 - 235 අතර කාලයට අයත්ය.
  • සක්කාරා ප්‍රදේශයේ සොහොන් ගෙයකින් හමු වී ඇත.
  • ස්වාමියා පවසන යමක් ලිවීමට සැරසෙන බව විචාරක මතයයි.

නෙෆර්ටිටි (NEFERTITI)

  • ඊජිප්තු නව රාජධානි සමය හෙවත් අමර්ණා යුගයේ නිර්මාණය වී ඇත.
  • ක්‍රි.පූ. 1375 පමණ කාලයට අයත්ය.
  • ඊජිප්තු පාරා රජවරයෙකු වූ අක්නේටන් රජුගේ බිසව ලෙසට නෙෆර්ටිටි අධිරාජිණිය හඳුන්වයි.
  • උස අඟල් 20ක් වන මෙහි මාධ්‍යය හුණු ගල්ය.
  • ඊජිප්තු කලා නිර්මාණවල ඇති ශෛලිගත සම්ප්‍රදායෙන් මිදී ස්වභාවික ශෛලිය ලක්ෂණ මෙහි දැකිය හැකිය.
  • හිසෙහි පැළඳි විසිතුරු දිගැටි ඔටුන්න හා ගෙලෙහි පැළඳි මාලයේ අධරාජිණියක සතු තේජෝබල පරාක්‍රමය පෙන්වයි.
  • දැනට බර්ලින් කෞතුකාගාරයේ තැන්පත් කර ඇත.


ඊජිප්තු චිත්‍ර නිර්මාණ

මීඩම්හි පාත්තයෝ
  • එකා පසුපස එකා ගමන්කරන පාත්තයන් සමූහයක් දැක්වේ.
  • ක්‍රි.පූ. 2630 ට පමණ අයත්ය.
  • මෙය පැරණි රාජධානි යුගයට අයත් වේ.
  • මීඩම්හි මස්ටාබා වර්ගයට අයත් සොහොන් ගෙයකින් හමු වී ඇත.
  • පාත්තයන් හයදෙනා තිදෙනා බැගින් දෙපැත්තට එකා පසුපස ගමන් කරන අයුරක් පෙන්වයි. ඉදිරියෙන් දෙපසින් සිටින පාත්තයින්ගේ හිස බිමට නැඹුරු කරගත් ආකාරයට ඇඳ ඇත.
  • කළු, සුදු, දුඹුරු වර්ණවල විවිධ ප්‍රබේද මතුවන ලෙස යොදා ඇති අතර රේඛාකරණය මඟින් සියුම් ලෙස විස්තරාත්මකව හැඩ දක්වා ඇත.
  • බොහෝ විට පැතලි ක්‍රමයට වර්ණ යොදා ඇත.

කුරුළු දඩයම ( FOWLING SCENE)

  • ක්‍රි.පූ. 1580 - 1350 අතර කාලයේ නව රාජධානි යුගයට අයත් වේ.
  • තිබ්ස්වල නෙබාමුන් සොහොන් ගැබෙන් හමු වූ මෙය වර්ණ සිතුවමකි.
  • සිතුවමින් දැක්වෙන්නේ ඊජිප්තු වංශාධිපතියෙකු නෙබාමුන් නයිල් නදියේ ඔරුවක නැගී තම අත ඇති භූමරංගය භාවිතා කරමින් කුරුල්ලන් දඩයම් කරන ආකාරයයි. ඔහුගේ එක් අතක අල්ලාගත් පක්ෂීන් තිදෙනෙකි. සිතුවමේ දැක්වෙන කාන්තා රූප ඔහුගේ දියණිය හා භාර්යාව ලෙස අදහස් කෙරේ. පැපිරස් පඳුරු අතර දඩයම් බළලෙකු පාද වලින් පක්ෂින් දෙදෙනෙකුද කටින් තවත් පක්ෂියෙකුද අල්ලාගෙන සිටින ආකාරය දක්වයි.
  • වියළි බදාමය මත හෙවත් ප්‍රෙස්කෝ සිකෝ ශිල්ප ක්‍රමය භාවිතා කර ඇත.
  • රූප වර්ණ ගැන්වීමට අඳුරු කහ, රතු, සුදු, කළු ආදී වර්ණ භාවිතා කර ඇත.
  • චිත්‍රයේ පසුබිමේ හයිරොග්ලිපික්ස් ( Hieroglyphics) හෙවත් රූපාක්ෂර දැකිය හැක.
  • මානව රූප ශෛලිගත හා පාර්ශව දර්ශිව ස්වරූපයෙන් ඇඳ ඇත.
  • දැනට මෙය ලන්ඩනයේ බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තැන්පත් කර ඇත. 

ඊජිප්තු සිතුවම් අතර සටහන් කර ඇති හයිරොග්ලිපික්ස් ( Hieroglyphics) හෙවත් රූපාක්ෂර ලේඛනකරණයේ පළමු අවස්ථාව වශයෙන් අදටත් පුරාවිද්‍යාඥයින්ගේ ගවේෂණයට හා නිරික්ෂණයට ලක් වූවකි

මිසර සිතුවම්වල සුවිශේෂි ලක්ෂණ
  1. ද්විමාන බව හා පාර්ශවගත බව
  2. පැතලි ක්‍රමයට වර්ණ යොදා ඇත.

ඇගයීම: 7.4.1 ඊජිප්තු මූර්ති හා චිත්‍ර නිර්මාණ.

පහත දක්වා ඇති චිත්‍ර ඇසුරෙන් අසා ඇති ප්‍රශ්න සඳහා පිලිතුරු සපයන්න

1.


  1. හඳුනාගත් බව:..............................................
  2.  පිහිටි ස්ථානය:..............................................
  3. මින් හඳුන්වන දේ:........................................
  4. ශිල්ප ක්‍රමය:.................................................
  5.  අයත් යුගය:..................................................
  6. භාවිත කර ඇති වර්ණ:...................................
  7. දැනට දක්නට ලැබෙන ස්ථානය:...................
  8. මෙහි පසුබිමෙහි දක්නට ලැබෙන අක්ෂර විශේෂය:.........................................

2.

  1. හඳුනාගත් බව:..............................................................
  2. අයත් යුගය:..................................................................
  3. හමුවූ ස්ථානය:..............................................................
  4. භාවිතා කර ඇති වර්ණ:..................................................


3.

  1. හඳුනා ගත් බව:.............................................................
  2. හමු වූ ස්ථානය:.............................................................
  3. යුගය / කාලය:..............................................................
  4. මාධ්‍යය:.......................................................................
  5. ශිල්ප ක්‍රමය:.................................................................
  6. වර්තමාන ප්‍රදර්ශන ස්ථානය:..........................................


Friday, February 26, 2021

රෆායල් ශිල්පියාගේ නිර්මාණ

සැකසුම -සි්‍. එන්. ගුණවර්ධන

6.2.3 ක්‍රියාකාරකම

රෆායල් සන්සියෝ(Raphael Sanzio)


  • පුනර්ජීවන යුගයේ උච්චතම අවධිය එනම් පසු පුබුදු යුගයේ විසූ අති ශ්‍රේෂ්ට වූ චිත්‍ර ශිල්පියෙකු ලෙස අවිවාදයෙන්ම නම් කළ හැකිය. ලියනාඩෝ ඩාවින්සි සහ මයිකල් ආන්ජලෝගේ සමකාලීනයෙකි.
  • 1483 දී උර්බිනෝ ප්‍රදේශයේ උපන් රෆායල් 1504 දී පුනර්ජීවනයේ කේන්ද්‍රස්ථානය වන ෆ්ලෝරන්ස් වෙත ලඟා වීමට පෙර පෙරුජිනෝගේ කලා ගාරය තුළ තම ශිල්පඤාණය වඩා වර්ධනය කර ගත්තේය .
  • ඔහු ෆ්ලොරන්ස් වෙත පා තබන විට එනුවර සියලුම දෑ මිනිස් ශිෂ්ටාචාරයේ උච්චතම අවස්ථාව පෙනෙන මානයේ විය .ඒ වනවිටත් එහි වැසියන් ඩාවින්චි සහ මයිකල් ආන්ජලෝව කලා ලොව විශිෂ්ටයන් තනතුරෙහිලා සලකන්නට විය. 
  • ඔවුන් දෙදෙනාගේ ඇසුර තුළින් රෆායල් කලා කුසලතාවයෙන් සපිරි සුධීමතෙකු බවට පත්විය. වයස අවුරුදු විසිපහ පමණ වනවිට ඔහුගේ නිර්මාණ කුසලතාවය කොතරම් උච්චතම තත්වයකට පැමිණ තිබුනේද යත් නිර්මාණ කාර්යක් සඳහා II වෙනි ජුලියස් පාප්තුමා ඔහුව රෝමයට කැඳවීමට තරම් ඔහුගේ නිර්මාණ හැකියාව උසස් තත්වයකට පත්වී තිබුණි.
  • රෆායල් රෝමයට පැමිණීම හේතුකොටගෙන වතිකානුවේ පාප්තුමාගේ මාළිගය ඔහුගේ තෙළිතුඩින් විචිත්‍රත්වයට පත් වූ අතර වර්තමානිකයින් විසින් වන්දනාමාන කරන ඔහුගේ චිත්‍ර සම්ප්‍රදායට අඩිතාලම වැටුනේද මේ අවදියේය.එම සිතුවම් තුළින් ද්විමාන තලයක් තුළ ත්‍රිමාණ වටකුරු රූප ඇඳීමේ ඔහු දැක්වූ කුසලතාවය මැනවින් ඉස්මතු වූ අතර එම අලේඛ්‍ය නිර්මාණ ඉතාලි පුනර්ජීවනයේ බිහිවූ අසමසම නිර්මාණ ලෙස සැලකේ .
  • ඔහුගේ අතින් සිතුවම් වූ ප්‍රකට තේමාවක් ලෙස මැඩෝනා සිතුවම් හැඳින්විය හැකි අතර ඔහුගේ චිත්‍ර තුළ ස්ත්‍රී පුරුෂයන් සහ දරුවන් නිරූපනය වුයේ පිරුණු ජීවින් ලෙසය.එතුලින් නිරෝගී මානුෂිකත්වය හැමවිටම පිළිබිඹු විය .මැඩෝනා සිතුවම් තුළින් නරඹන්නා තුළ විචිත්‍රවත් වූ ලාලසාවක් ඇතිකිරීමට තරම් රෆායල් සමත් විය .මේ අන්දමින් හිසේ සිට දෙපතුල දක්වා ඔහු රැකගත් ජීවී ගුණය ඩාවින්චි පවා සපුරා නොගත් බව ඇතැම් විචාරකයන්ගේ අදහසයි.
  • ‘ඇතන්ස් ගුරුකුලය’නැමති සිතුවම රෆායල් ගේ කලා දිවිය තුළ නිර්මාණය වුන අති දැවැන්ත නිර්මාණයක් වන අතර කලාත්මක අතින් අසමසම කෘතියකි .ප්ලේටෝ සහ ඇරිස්ටෝටල් ප්‍රමුඛ මහා දාර්ශනිකයින් මෙමගින් නිරූපිතය .මහා පරිමාණ වස්තුවිද්‍යා පරිසරයක් සහිත මෙම චිත්‍රය චිත්‍ර කලාව තුළ පර්යාවලෝකන භාවිතාව විශිෂ්ට අන්දමින් යොදා ගත අවස්ථාවක් ලෙස සැලකිය හැකිය .
  • රෆායල්ගේ ඉතා කෙටි ජීවිතය අධික වැඩ සහ වෙහෙස විසින් සොරාගන්නා ලදුව අවුරුදු 37 කට තම ජීවන ගමන අවසන් කරන විට ඔහුගෙන් චිත්‍ර කලාවට සදා අමරණීය මෙහෙයක් ඉටුවී තිබුණි .ඔහුගේ මෘත ශරීරය පැරණි රෝමයේ ජාතික වීරයින්ගේ මෘත ශරීර මිහිදන් කිරීම සඳහා වෙන් කරන ස්ථානයක මිහිදන් වුවද ඔහුගේ නිර්මාණ අද ද කලා රසිකයන්ගේ හදවත් තුළ සදා අනුස්මරණීය වී අවසානය .


රෆායල්ගේ සිතුවම්








ඇතන්ස් ගුරුකුලය ( School of Athens)


  • ඇතැන්ස්හි ගුරුකුලය රෆායල් විසින් නිර්මාණය කරන ලද විශිෂ්ට බිතු සිතුවමක් වේ.
  • මෙය රෝමයේ ස්ටැන්සා ඩෙලා සිගන්චුරා (Stanza della Segnatura) නැමැති ගොඩනැඟිලි බිත්තියකප්‍රෙස්කෝ බුවනෝ ශිල්ප ක්‍රමයට නිර්මාණය කරන ලද්දකි.
  • වාස්තු විද්‍යාත්මක අවකාශය මත රූප සම්පිණ්ඩනය කිරීම පිළිබඳ දක්වා ඇති කුසලතාව සහ ප්‍රතිභාව නිර්මාණකරණයේ අග්‍ර ඵලයක් ලෙසට විචාරකයෝ හඳුන්වති.
  • චිත්‍රයෙන් දැක්වෙන්නේ පැරණි ගීක දාර්ශනික ඇතන්ස් ගුරුකුලය යි. සිතුවම මධ්‍යයේ ඇරිස්ටෝටල් හා ප්ලේටෝ යන දාර්ශනිකයන් ය. සෙසු දාර්ශනිකයන් ද වාද විවාදවල පැටලි සිටින අයුරුපෙන්නුම් කරයි.
  • මෙම දාර්ශනික ලෝකය ක්‍රියාකාරී මානව රූප සම්පිණ්ඩනය මගින් ඉදිරිපත් කර තිබීම මෙම සිතුවමේ දැකිය හැකි විශේෂතාවකි.
  • දුඹුරු වර්ණයේවිවිධ ප්‍රභේද, අඳුරු කහ වර්ණවල විවිධ ප්‍රභේද, රඹ සහ සුදු ආදී වර්ණයන් සිතුවම සඳහා භාවිත කර ඇත.

මැඩෝනා චිත්‍ර

  • රෆායල්ගේ නිර්මාණ අතර ප්‍රකට තේමාවක් වූයේ මැඩෝනා හෙවත් කන්‍යා මරියතුමිය හා ජේසූ බිළිඳා දැක්වෙන නිර්මාණයෝ ය.
  • පුනරුද යුගයේ වෙනත් චිත්‍ර ශිල්පීන් නිර්මාණය කළ මැඩෝනා චිත්‍රවලට වඩා රෆායල් විසින් නිර්මාණය කරන ලද මැඩෝනා චිත්‍ර සුවිශේෂී නිර්මාණ ලෙස සැලකේ.
  • මෙම සිතුවම් තෙල් සායම් මාධ්‍යයෙන් කැන්වසය මත නිර්මාණය කර ඇත.
  • ත්‍රිකෝණාකාර ආකෘතියක් මත හැඟීම් දනවනසුළු ප්‍රකාශනයන් සහිතව රූප පිහිටවීම මෙම චිත්‍රවල විශේෂතාවකි.
  • ත්‍රිමාන ලක්ෂණ සහිත වර්ණ භාවිතය මෙන් ම ප්‍රභාමණ්ඩලය හෙවත් හෙලෝව නිරූපණය නොකිරීම ද නිර්මාණයන්හි දැකිය හැකි ලක්ෂණයන් ය.
තණපිටියේ සිටින මැඩෝනා (Madonna of the Meadows)

  • පර්යාලෝක ලක්ෂණ සහිත භූමි දර්ශනයක ගහකොළ මල් සහිත සෑබෑ පිටිසර ගැමි පසුබිමක සාමාන්‍ය ගැහැනියක ලෙසරූපණය කීරීම මෙම නිර්මාණයේ සුවිශේෂත්වයකි.
  • මරියතුමිය පිරුණු ශරීරයෙන් හා මෘදු සොම්නස් හා සෙනෙහසින් පිරුණු මුහුණකින් යුතු හැඟීම් ප්‍රකාශනය සහිතව ඉදිරිපත් කිරීමට ශිල්පියා උත්සාහ ගෙන ඇත.
  • ලී පුවරුවක් මත තෙල් සායම් මාධ්‍යයෙන් නිමකර ඇත.
  • වියානාවල කලා කෞතුකාගාරයේ මෙම සිතුවම ප්‍රදර්ශනයට තබා ඇත.

මැඩෝනා ඩෙලා සේදියා (Madonna Della Sedia)

  • කවාකාර තලයක් මත ඇඳ ඇති මෙම සිතුවමෙන් මරිය මව්තුමියට තුරු`ඵ වී සිටින ජේසු බිළිඳාත් ඒ දෙස බලා සිටින ශාන්ත ජෝන් බැප්ටිස් ළදරුවාත් නිරූපණය වේ.
  • රූප ත්‍රිත්වය සමීප දර්ශනයක් ලෙස එක තලයක් තුළ සංරචනය කර ඇත.
  • මානව දේහයේ කායික සුන්දරත්වය මෙන් ම වස්ත්‍රවල විස්තරාත්මක ලක්‍ෂණ මැන්වින් නිරුපණය කර ඇත.
  • මරිය මව්තුමියගේ කරුණාවන්ත බව හා සෙනෙහස මෙන්ම ළදරුවන්ගේ සුරතල් මොළකැටි හා පුෂ්ටිමත් ලක්ෂණ තාත්විකවාදී ස්වරූපයෙන් දැක්වීමට ශිල්පියා සමත් වී ඇත.
  • රෆායල්ගේ අනෙකුත් මැඩෝනා චිත්‍රවල දැක්වෙන විස්තරාත්මක පසුබිම් භූමි දර්ශන වෙනුවට මෙම සිතුවමේ පසුබිම, ගැඹුර නිරූපණය නොවන ලෙස අඳුරු වර්ණයකින් දක්වා ඇත




ඇගයීම: 6.2.3 රෆායල් ශිල්පියාගේ නිර්මාණ

පහත ඇති නිර්මාණ හඳුනාගෙන දී ඇති උපමාතෘකා ඔස්සේ කෙටි හැඳින්වීමක් කරන්න .

1.
  1. හඳුනාගත්බව-............................................................................................
  2. ශිල්පියා -......................................................................................................
  3. ස්ථානය -.....................................................................................................
  4. ශිල්ප ක්‍රමය - ...............................................................................................
  5. වර්ණ භාවිතය -...........................................................................................
  6. ශිල්පීය කුසලතාවය -....................................................................................
2.
  1. හඳුනාගත්බව-............................................................................................
  2. ශිල්පියා -......................................................................................................
  3. ස්ථානය -.....................................................................................................
  4. ශිල්ප ක්‍රමය - ...............................................................................................
  5. වර්ණ භාවිතය -...........................................................................................
  6. ශිල්පීය කුසලතාවය -.....................................................................................
3.
  1. හඳුනාගත්බව-............................................................................................
  2. ශිල්පියා -......................................................................................................
  3. ස්ථානය -.....................................................................................................
  4. ශිල්ප ක්‍රමය - ...............................................................................................
  5. වර්ණ භාවිතය -...........................................................................................
  6. ශිල්පීය කුසලතාවය -.....................................................................................

පුවත්පත් චිත්‍රකතා ශිල්පීන්ගේ නිර්මාණ

 සැකසුම - සාරංග කරුණාරත්න

  6.6. ක්‍රියාකාරකම


  • ප්‍රවෘත්ති පත්‍ර ඔස්සේ චිත්‍රකතා සම්ප්‍රදාය ලොවට බිහිවිය දහනව වැනි සියවසේ බටහිර චිත්‍ර කතා ආරම්භ වූයේ ඇමරිකානු ප්‍රවෘත්ති පත්‍ර වල පළවූ (caricature) කැරිකේචර් සහ කාටුන් ඔස්සේය.පසුකාලීනව චිත්‍රකතා තාත්විකත්වය ට නැඹුරු වුවද මුල්කාලීන ඒවායේ කාටුන් ස්වරූපයකට හෙවත් හාස්‍යෝත්පාදක ස්වරූපයක් විය.
  • ශ්‍රී ලංකාවේ ප්‍රථම චිත්‍ර කතාව පළ වූයේ 1952 ඔක්තෝම්බර් 28 වැනි ඉරිදා ලංකාදීප පත්‍රයේය.එය “නීලා” නම් විය.
  • මෙහි චිත්‍රකතා ශිල්පියා වූයේ ජී. ඇස් .ප්‍රනාන්දුය. මෙසේ “නීලා” චිත්‍ර කතාවෙන් ඇරඹි මෙරට පුවත්පත් චිත්‍ර කලාව ජනතාව අතර දැඩි ජනප්‍රියත්වයට පත්විය. සුසිල් ප්‍රේමරත්න වැනි ජනප්‍රිය ශිල්පීන් මෙන්ම පසුකාලීනව බොහෝ චිත්‍රකතා ශිල්පීන් ගණනාවක් ක්ෂේත්‍රයට පිවිසුණි. ඔවුන් අතර විවිධ ප්‍රවණතා දක්ෂතා පෙන්වූ පුරෝගාමී ශිල්පීන් ලෙස බන්දුල හරිශ්චන්ද්‍ර ,දයා රාජපක්ෂ ආදී චිත්‍රකතා ශිල්පීන් ක්ෂේත්‍රය තුළ බොහෝ ජනප්‍රිය විය.
  • ප්‍රවෘත්ති පත්‍රවල චිත්‍රකතා පළවීම වෙනුවට පසුකාලීනව චිත්‍රකතා පත්තර බිහිවූ අතර “සිත්තර” නමින් 1975 දී ප්‍රථම චිත්‍ර කතා පත්තරය බිහිවිය.
  • මෙසේ ආරම්භ වූ චිත්‍රකතා පත්‍ර කලාවට සතුට, චිත්‍ර මිත්‍ර, සසර විශ්ම, ආදී චිත්‍ර කතා පත්තර රාශියක් පසුකාලීනව එකතු විය. චිත්‍ර කතා කලා සම්ප්‍රදාය රූපවාහිනිය මාධ්‍ය ආරම්භයත් සමඟ ජනප්‍රියත්වයෙන් ගිලිහුණ ද වර්තමානයේ දී ද පළවන පුවත්පත් වල ඉතා සුළු වශයෙන් චිත්‍රකතා නිර්මාණ දැකගත හැකි වේ.


චිත්‍ර කතා ශිල්පීන්




බන්ධුල හරිශ්චන්ද්‍ර

 


  • 1940 මැයි24 දින පාණදුර කෙසෙල්වත්තේ දී උපන් දොම්පේ ගේ බන්ධුල හරිශ්චන්ද්‍ර පීරිස් පාණදුර කෙසෙල්වත්තේ ශ්‍රී ජීන ධර්මදාන විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබුවේ ය. පසුකලක රජයේ ලලිත කලායතනයෙහි සති අන්ත පාඨමාලාව හදාරා ඇති මොහු කෙසෙල්වත්ත ශ්‍රී ධර්මදාන විද්‍යාලයේ ස්වේච්ඡා ගුරුවරයකු ලෙස ලෙස චිත්‍ර විෂය ඉගැන්වීය. තවද මොහු විසින් පානදුරේ තොරණේ චිත්‍ර ඇඳීමට ද දායක වී ඇත.
  • පුවත්පත් චිත්‍රකලාව ජනප්‍රියව තිබූ ඒ අවදියේ ඒ පිළිබඳව කැමැත්තේන් චිත්‍රකථා ඇඳීමට යොමු වූ ඔහු 1962 ලේක්හවුස් ආයතනයේ දිනමිණ පුවත්පතට එක් දිනකින් අවසන් වන ජාතක කතා ඇඳීම ආරම්භ කළේය.ඔහු “සුලසා” ජාතකයේන් පටන්ගෙන ජාතක කතා 38ක් පමණ ඇදි අතර ඒවා සෑම සඳුදාවකම දිනමිණ පත්‍රයේ පළ විය.
  • ශ්‍රී ලංකාවේ ප්‍රථම වර්ණ චිත්‍ර කථාව ලෙස “නල දමයන්ති” නිර්මාණය කිරීමේ ද ගෞරවය ඔහුට හිමි වේ. මෙරට චිත්‍ර කතා ක්ෂේත්රය සම්භාව්‍ය තලයකට ඔසවා තැබීමට බන්ධුල හරිශ්චන්ද්‍රයන් සමත්වූ බව ඔහුගේ නිර්මාණ තුළින් මනාව පැහැදිලි වේ. ඔහුගේ චිත්‍ර කතාවන්ට බොහෝ විට පාදක වූයේ ජාතක කතා, බෞද්ධාගමික කතා, බයිබල් කතා ,ඓතිහාසික කතා ,මහා භාරත කතා, ග්‍රීක වීරකාව්‍ය ,අරාබි නිසොල්ලාසය හා ජපන් සෙන් කතා ආදියයි.
  • චිත්‍ර කතා නිර්මාණය කිරීමේදීද සම්භාව්‍ය සාහිත්‍යය ඒ හා බද්ධ කිරීමේ හැකියාව ඔහුගෙ නිර්මාණ ඇසුරෙන් හඳුනාගත හැකිය. බන්ධුල හරිශ්චන්ද්‍ර යන්ගේ සිය ගණනක් වූ චිත්‍ර කතා මාලාවට පසුබිම් වූ එකිනෙකට වෙනස් වූ භූගෝලීය පරිසර ද චරිත කාලවකවානු සංස්කෘතීන් දෙස බලන කල ඔහුගේ පරිකල්පන ශක්තිය කෙතරම් විශ්මිත දැයි ප්‍රත්‍යක්ෂ වේ.
  • ජීව රූප ඇඳීමේ විශිෂ්ට වූ මනා හැකියාවක් මෙන්න විවිධ පරිසර පද්ධතිද විවිධ පරිසර වල භූගෝලීය ලක්ෂණ ද මිනිස්සුන්ගේ දේහ ලක්ෂණ ඇඳුම් පැලඳුම් ආභරණ ආදිය ඉතා නිවැරදිව චිත්‍රණය කිරීමේ හැකියාවක් බන්දුල හරි චන්ද්‍රයන් තුළ පවත්නා බව ඔහුගේ චිත්‍රකතා සමූහය නිරීක්ෂණයෙන් පැහැදිලි වේ.


දයා රාජපක්ෂ


  • වර්ෂ 1941 දෙසැම්බර් මස 12 දින කළුතරදී උපත ලැබූ බෙන්තර මහකුමාරගේ දොන් දයා රාජපක්ෂ මහතා හැදී වැඩුණේ උඩරට විදුලිපුර නම්ගම්මානයේය. ලක්ෂපාන කිරිවන් එළියෙ රජය පාසලින් ද නාවලපිටිය අනුරුද්ධ විද්‍යාලයෙන්ද ගිනිගත්හේන මධ්‍ය මහා විද්‍යාලයෙන් යන පාසල් කීපයකින් අධ්‍යාපනය ලැබූ මෙතුමා විසින් චිත්‍ර කලාව හදාරන ලදී. පාසල් අධ්‍යාපනය අවසන් කිරීමෙන් පසු නාමපුවරු පින්තාරු කරමින් මඟුල් පෝරු නිර්මාණය කරමින් තම කලා කටයුතු ඉදිරියට කරගෙන ගිය මෙතුමා එවකට චිත්‍රකතා කලා ශිල්පියෙකු වූ සුසිල් ප්‍රේමරත්නයන්ගේ චිත්‍ර කතා පිටපත් කරමින් තම ශිල්පීය හැකියාව වර්ධනය කර ගන්නා ලදී.
  • මෙලෙස තම හැකියාව වර්ධනය කර ගත් මෙතුමාට පුවත්පත් චිත්‍ර කලාව ගැන ඇල්මක් ඇති වූ අතර ප්‍රථමයෙන් ඉංග්‍රීසි කෙටි කතාවක් ඇසුරෙන් සිය ප්‍රථම චිත්‍ර කතාව අඳින ලදී.එම චිත්‍රකතාව සිළුමිණ පුවත්පත තැපැල් කර එවීමෙන් පසු 1967 දෙසැම්බර් 01 සිට “ඉන්දු” නමින් සිළුමිණ පුවත්පතේ පළවිය. මෙසේ චිත්‍රකතා ශිල්පියකු ලෙස තහවුරු වූ දයා රාජපක්ෂ මහතා 1904 දී දිනමිණ පුවත්පතේ දිනපතා පළවූ “ආදර කොමා” නම් චිත්‍රකතාව නිර්මාණය කරමින් ඉමහත් කීර්තියට හා ජනප්‍රියත්වයට පාත්‍ර විය.
  • චිත්‍ර කතා සිය ගණනක් නිර්මාණය කර ඇති මෙතුමා විසින් සිළුමිණ, දිනමිණ, නවයුගය, සරසවිය ,මිහිර, සතුට, ලංකාදීප, ඉරිදා ලංකාදීප, යන පුවත්පත් ගණනාවකටම තම සේවය සපයා ඇත

දයා රාජපක්ෂ විසින් නිර්මාණය කර ඇති පුවත්පත් චිත්‍ර
  • සිළුමිණ පුවත්පත - නලා හඬ, වානරයෝ, වීනා ,අනූපමා ,නිසංසලා ,අහිමි දඩමන්, වෙදහාමුදුරුවෝ, පොඩි මාමා, සක්විති සුවය.


  • සරසවිය පුවත්පත - ළැව්ගිනිදැල්, හුලවාලි, බාදුරාමල්, තවලම




  • සතුට පුවත්පත - රක්තා, නිළියකට පෙම් කළෙමි, සක්මන් මළුව, සිව් මංසල


නවයුගය පුවත්පත - මැකී ගිය සිතුවම්

  • මෙම සිතුවම් අතරින් ‘’අනුපමා’’ හා ‘රක්තා’’ යන කතා විදේශීය සංස්කෘතියේ ආභාෂය ලැබුව ද සෙසු චිත්‍ර කතා සියල්ලම පාහේ ස්වතන්ත්‍ර නිර්මාණයන් වේ. ඔහුගේ චිත්‍ර කතා වල වස්තු විෂය වූයේ නාගරික,අර්ධ නාගරික, ගැමි ජන කොටස් හා සම්බන්ධ කතා තේමාවන්ය. විවිධ සමාජ කණ්ඩායම් වලට අයත් මානව චර්යා හා ඔවුන්ගේ සියුම් මානව ගුණාංග ඔහුගේ චිත්‍ර කතා වල මනාව නිරූපණය විය. නිරූපණාත්මක ශෛලියකින් යුක්තව ඇඳීම මෙන්ම චරිත නාටකීය ස්වරූපයකින් නියම කර ඇත.
  • දයා රාජපක්ෂයන්ගේ නිර්මාණ අතර ගිනිබත් කිරීටය චිත්‍ර කතාව රූපමය නිරූපණය භාෂාව හැසිරවීම හා අන්තර්ගත කතා තේමාව සමග සමාජ වටිනාකම් දක්වන ප්‍රශස්ත නිර්මාණයක් ලෙස සැලකිය හැකිය. සමාජ දේශපාලන ගැටුම් පිළිබඳ විවරණයක් කිරීමට මෙම කතාව තුළින් ඔහු උත්සාහ ගෙන ඇත.
  • චිත්‍ර කතාවක භාෂා ශෛලිය මෙන්ම චිත්‍රමය ප්‍රකාශනය වැදගත් අංගයක් කොට සැලකිය හැකි අතර මොහුගේ චිත්‍රකතා වල ඉදිරිපත් කරන ලබන චිත්‍රමය සංරචන ක්‍රමය නාටකීය ගතිලක්ෂණ වල ප්‍රබලත්වය සුවිශේෂී ලක්ෂණයක් ලෙස දැක්විය හැකිය. ජීව රූප ඇඳීමේ විශිෂ්ට හැකියාවක් මෙන්ම නාගරික පරිසර වල මිනිස්සුන්ගේ දේ හා චරිත ලක්ෂණ ඇඳුම් පැළඳුම් ආදිය ඉතා නිවැරදිව චිත්‍රණය කිරීමේ හැකියාවක් ද මොහුගේ චිත්‍ර තුළ තිබූ බව නිර්මාණ තුළින් පැහැදිලිව දක්නට ලැබේ.



  • ඔහුගේ කලු සුදු වර්ණයන්ගෙන් නිමවූ චිත්‍ර කතාවක් තුළ වුවද චිත්‍රමය ප්‍රකාශනයේ ඉතාමත් ප්‍රබලව දක්නට ලැබේ. තේමාවට අදාළව විවිධ කෝණයන් ගේ සිට මානව රූප සියලු හැඩතල වලට සංවිධානය කිරීමටද තේමාවට අදාළව විවිධ පුද්ගලයන්ගේ මනෝභාවයන් සරල රේඛා වර්ණ මගින් ඉදිරිපත් කිරීමට දයා රාජපක්ෂයන් සමත් වී ඇත
  • දයා රාජපක්ෂයන්ගේ චිත්‍ර කතා තුළ ඇති සුවිශේෂී බව නිසාම සිංහල චිත්‍ර කතා වංශකතාවේ අමරණීය සලකුණ ලෙස ද ඔහුව හඳුන්වා ඇත.








ජනක රත්නායක


  • චිත්‍ර කලාව පිළිබඳව සහජ කුසලතාවයක් හෙබි පුද්ගලයකු ලෙස ජනක රත්නායක හැඳින්විය හැකිය.70 දශකයේ චිත්‍ර කලා ක්ෂේත්‍රයේ ස්වර්ණමය යුගය ලෙස හැඳින්විය හැකි අතර එම වකවානු තුළ නව නිර්මාණාත්මක ශෛලියකින් ක්ෂේත්‍රයට පිවිසි ශිල්පියෙකි.1971 වසරේ සිට 1979 වසර දක්වා කාල වකවානු තුළ ජනක රත්නායක විසින් දවස, ලේක්හවුස් මල්ටි පැක්ස්, නම් විවිධ ආයතන වල සේවය කරමින් තම චිත්‍ර කතා රාශියක් නිර්මාණය කිරීමට සමත් විය.
  • සරසවි පත්තරේ පළවූ සාරංගා සතුට පත්තරේ පළවූ කබලෙන් ලිපට, සුසීමා, අත්තික්කා මල, පාට පාට, හීනයක්, යලි පිපුනු මලක්, කළු පරවියෝ, ඔහුගේ එකල ජනප්‍රිය වූ චිත්‍ර කතා කිහිපයකි
  1. සරසවි පත්තරේ පළවූ සාරංග
  2. සතුට පත්තරේ පළවූ චිත්‍ර කතා









        

  • මොහුගේ චිත්‍රකතා සෙසු චිත්‍ර කතාවන්ගේ වෙනස් වී පෙනෙන්නට ප්‍රධාන කරුණක් නම් ඔහු සිය කතා වල හා චරිත වල ක්‍රියාකාරකම් සැබෑ ස්වාභාවික දර්ශන තල උපයෝගී කර ගනිමින් නිර්මාණය කිරීමයි. කබලෙන් ලිපට නැමැති චිත්‍රකතාව සඳහා ලේක්හවුස් ආයතනය නිදහස් චතුරස්‍රය ආදී දර්ශන තලයන් දීම පාට පාට හීනයක් චිත්‍ර කතාව සඳහා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මල් උයන්, දේශන ශාලා ,ශිෂ්‍ය නේවාසිකාගාර, ආපනශාලාව එලෙසින්ම සිතුවම් කිරීම උදාහරණයක් ලෙස ගත හැකිය.
  • ජනක රත්නායක ගේ චිත්‍ර කථා රාශියක් ටෙලි නාට්‍ය නිර්මාණ ලෙස ද එළි දක්වනු ලැබ ඇත.


ඇගයීම: 6.6.1 පුවත්පත් චිත්‍රකතා ශිල්පීන්ගේ නිර්මාණ

පාඩම හොඳින් කියවා බලා අසා ඇති සියලු ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න

1. චිත්‍රකතා නිර්මාණ පළමුව ආරම්භ වන්නේ කුමන රටේ ප්‍රවෘත්ති පත්‍ර වල ද? ……………………………………………………

2. ශ්‍රී ලංකාවේ ප්‍රථම චිත්‍රකතාව පළ වුයේ කුමන පත්‍රයේද? ……………………….

3. එසේ පළවූ ප්‍රථම චිත්‍ර කතාවේ නම කුමක්ද? ……………………………….

4. එම චිත්‍රකතාව නිර්මාණය කළ ශිල්පියා කවරෙක්ද? …………………………

5. ලංකාවේ නිර්මාණය වූ පළමු චිත්‍ර කතා පත්තරේ නම කුමක්ද? …………….

6. චිත්‍රකතා පුවත්පත් කිහිපයක නම් සඳහන් කරන්න.

…………………………………………………………………

7. “සුලසා” ජාතකය හා “නල දමයන්ති” යන නිර්මාණයන් කරනු ලැබූ ශිල්පියා කවරෙක්ද? …………………………………..

8. සිළුමිණ පත්තරයේ පළවූ “ඉන්දු” නම් චිත්‍ර කතාව කාගේ නිර්මාණයක්ද? ………………………….

9. දයා රාජපක්ෂ ශිල්පියා විසින් නිර්මාණය කරන ලද චිත්‍ර කතා දෙකක් නම් කරන්න

………………… …………………….

10. සුසීමා නම් ජනප්‍රිය චිත්‍ර කතාව කාගේ නිර්මාණයක්ද? ……………

11. ජනක රත්නායක ශිල්පියාගේ චිත්‍ර කතා සෙසු චිත්‍ර කතා කරුවන් ගෙන් වෙනස් වී පෙනෙන්නට ඔහුගේ චිත්‍ර තුළ දක්නට ලැබෙන සුවිශේෂී ලක්ෂණ දෙකක් දක්වන්න. …………………………………………………………………. ………………………………………………………………….