Monday, February 22, 2021

ශාන්ති කර්ම ආශ්‍රිත දෘශ්‍ය කලා අංග අගයමු.

 සැකසුම - අශානි රත්නසූරිය,සුරංගි වීරසේකර

6.1.1 ක්‍රියාකාරකම 


කවරකුට හෝ සෙතක් ශාන්තියක් හෝ සැනසීම ලබා දීම සඳහා පවත්වනු ලබන සුබ කටයුත්තකි ශාන්ති කර්ම.ජනතාව තුළ පවත්නා විවිධ ඇදහිලි හා විශ්වාස එයට පදනම් වී ඇත.අතීතයේ පටන් ලාංකේය ජනයා ශාන්ති කර්ම පැවැත්වීම සාම්ප්‍රදායික ව කර ඇත.

ශාන්ති කර්ම පවත්වන්නේ,

  • ලෙඩ රෝග සුව කිරීමට
  • සෞභාග්‍ය හා සශ්‍රීකත්වය ළඟා කර ගැනීමට
  • අපල උපද්‍රව දුරු කර ගැනීමට
  • ගව මහේෂාදී සම්පත් වැඩි දියුණු කර ගැනීමට ය.

ශ්‍රී ලංකාවේ විවිධ ජාතීන් විසින් පවත්වනු ලබන ශාන්ති කර්ම සඳහා භාවිතා කරනු ලබන දෘශ්‍ය සැරසිලි අංග විවිධ වේ.

ප්‍රධාන ශාන්තිකර්ම කීපයකි.

  • කොහොඹා කංකාරිය ශාන්තිකර්මය
  • දෙවොල් මඩුව ශාන්ති කර්මය
  • පහන් මඩුව ශාන්ති කර්මය
  • කුම්බාබිෂේකම් ශාන්තිකර්මය

1.කොහොඹා කංකාරිය ශාන්තිකර්මය


ඉතිහාසය

උඩරට නර්තන සම්ප්‍රදාය සමඟ බැඳී පවතී.ප්‍රථම කොහොඹ කංකාරි ශාන්ති කර්මය කොහොඹා දෙවියන් මුල් කරගෙන අනුරාධපුර මහමෙවුනාවේ දී පැවැත්වූ බව රාජාවලියේ සඳහන් ය.මෙම ශාන්තිකර්මය පවත්වා ඇත්තේ,

  • රෝග බිය දුරු කිරීම
  • සෞභාග්‍ය හා සශ්‍රීකත්වය ලැබීම පතාය.

ප්‍රධාන සැරසිලි අංග

ප්‍රධාන සැරසිලි අංගය වන්නේ මඩු සැරසිලි කිරීමයි.මඩුව තුළ අයිලය හා යහන සකස් කෙරේ.

භාවිතා අමුද්‍රව්‍ය/ මාධ්‍ය

මෙහි ඇති විශේෂත්වය වන්නේ සැරසිළි සඳහා ස්වභාවික ද්‍රව්‍ය ම භාවිතා කිරීමයි.විශේෂයෙන් ගොක්කොල ,හබරල කොල ,කෙසෙල් පතුරු ඇසුරින් කැටයම් කපා භාවිතා කරයි.ගොක්කොල වියමන් භාවිතයෙන් යහන ඇතිරීම හා පැති වැසීම කරයි.
  •  උඩු වියන් සැරසීමට- ගොක්කොළ, පොල් මල්, පුවක් මල්, බුලත්, නා කොළ ආදිය යොදා ගැනේ.
  • මඩුව සැරසීමේදී- පොල් වලු, තැඹිලි වලු, දෝතළු වලු, ඉඳි වලු, කෙසෙල් කැන්, අන්නාසි ආදිය භාවිතා කරයි.

2. දෙවොල් මඩුව ශාන්ති කර්මය


ඉතිහාසය

පහත රට නර්තන සම්ප්‍රදාය හා බැඳී පවතී.ප්‍රථම දෙවොල් මඩුව පත්තිනි දෙවඟන හා දෙවොල් දෙවියන් මූලික කරගෙන රුවන්වැල්ල ආශ්‍රිත ව පවත්වා ඇත. මෙහි උත්පත්ති කථාව කතාව වන්නේ සේරමාන් රජු ගේ හිසේ හටගත් රෝගයක් සුව කිරීමේ අරමුණින් මෙම ශාන්තිකර්මය පවත්වා ඇති බවයි. මෙම ශාන්ති කර්මය පවත්වන්නේ

  • බෝ වන රෝග ආදියෙන් මිදීමට
  • සෞභාග්‍ය හා සශ්‍රීකත්වය ළඟා කරගැනීමට ය .

ප්‍රධාන සැරසිලි අංග

ප්‍රධාන සැරසිලි අංගය වන්නේ මඩුව සැරසීමයි. සරල සාම්ප්‍රදායික මෝස්තර, කැටයම් සඳහා යොදා ගනී. දේවාභරණ තබන යහන සැරසීම මූලික ලෙස සිදු කෙරේ. එමෙන්ම තවත් සුවිශේෂී සැරසිලි අංග දැකිය හැක. එනම් පත්තිනි තොරණ හා දෙවොල් තොරණ වේ. ගොප් දම්වැල් ආදියෙන් සැරසිලි කළ "කාල පන්දම් ගහ" මඩුව අසලින් ම පිහිටන තවත් අංගයකි. මඩුවේ සැරසිලි සඳහා තැඹිලි, පොල්, පුවක්, ඉඳි ආදී වලු වර්ග භාවිතා කරයි.

භාවිත අමුද්‍රව්‍ය/ මාධ්‍ය

කෙසෙල් පතුරු හා ගොක් කොළ, සැරසිලි සඳහා භාවිත ප්‍රධාන අමුද්‍රව්‍ය වේ.තවද හබරල කොළ හා විවිධ වර්ණවත් කොළ වර්ග ද සැරසිලි සඳහා භාවිතා කරයි .ස්වභාවික ද්‍රව්‍ය පමණක් භාවිතයට ගැනීම විශේෂ ලක්ෂණයකි.


3. පහන් මඩුව ශාන්තිකර්මය

ඉතිහාසය

සබරගමු නර්තන සම්ප්‍රදාය හා සම්බන්ධ ශාන්ති කර්මයකි. ප්‍රථම පහන්මඩුව රුවන්වැල්ල ආශ්‍රිතව පත්තිනි දෙවඟන හා දෙවොල් දෙවියන් මුල් කරගෙන සේරමාන් රජුගෙ හිසේ අමාරුව සුව කිරීම උදෙසා පැවැත් වූ බව ඉතිහාස ග්‍රන්ථවල සඳහන් ය.

ප්‍රධාන සැරසිලි අංග

මඩුව සැරසීම ප්‍රධානම සැරසිලි කාර්යය ලෙස සැලකේ. මඩුව තුළ යහන හා තොරණ සකස් කෙරේ. පත්තිනි තොරණ හා දෙවොල් තොරණ සුවිශේෂ වේ. විෂ්ණු ,කතරගම ,සමන් , නාථ යන දෙවිවරුන් සඳහා ද මල් යහන් සකස් කෙරේ. ඒ සඳහා සරල සාම්ප්‍රදායික සැරසිලි ක්‍රම භාවිතා වේ.

භාවිත අමුද්‍රව්‍ය /මාධ්‍ය

ගොක්කොළ, හබරල කොළ වැනි ද්‍රව්‍ය බහුලව භාවිතයට ගැනේ. මඩුව සැරසිලි කිරීමේදී තැඹිලි, පොල් වලු ආදිය භාවිතා කෙරේ. සැරසිලි සඳහා ස්වාභාවික ද්‍රව්‍ය ම භාවිතා කිරීම මෙහිදී දැකිය හැකි සුවිශේෂ ලක්ෂණයකි.


4.කුම්බාබිෂේකම් ශාන්තිකර්මය

ඉතිහාසය

හින්දු කෝවිල් ආශ්‍රිතව පවත්වන ශාන්ති කර්මයකි.   කෝවිලක දෛනිකව පවත්වන "තෛමින්තිය" පූජා වල අඩු වූ බලය තවත් ශක්තිමත් කිරීමටත්, ඉදිකරන ලද අලුත් කෝවිල් වලට අවශ්‍ය බලය ලබා ගැනීම සඳහාත් අවුරුදු 12කට වරක් කුම්බාබිෂේකම් ශාන්තිකර්මය පවත්වයි. මෙය ආදි කාලයේ සිට පැවත එන ශාන්ති කර්මයක් බව ඓතිහාසික ග්‍රන්ථවල සඳහන් වේ.

ප්‍රධාන සැරසිලි අංග

කෝවිල් ඇතුළත හෝ පිටත වෙනම මඩුවක් සාදන අතර එය "යාග සාලෙ" ලෙස හඳුන්වයි. අඹ ලී වලින් ආවරණය කර උඩුවියන සුදු රෙදි යොදා සකස් කරයි. සතර දිසාවෙන් දොරටු සතරකි.

ප්‍රධාන දොරටුවට මුහුණ ලා දෙවියන්ගේ වාහනය සංකේතවත් කරන කොඩිය සමඟ එවැනි ත්‍රිකෝණාකාර කොඩිවැල් වලින් මඩුව සරසා තිබේ. මඩුව සැරසිලි කිරීමේ ඒකක ලෙස,

  • නෙලුම් මල්
  • ඕලු මල්
  • වෘත්ත
  • සමචතුරස්‍ර හැඩ යොදාගැනේ .

බිම කෝලම් සැරසිලි මගින් සරසනු ලැබේ.

 භාවිත අමුද්‍රව්‍ය /මාධ්‍ය

මඩුව සැරසීම සඳහා අඹ ලී, කෙසෙල් ගස්, පුවක්, උක් හා අඹ, ගොක්කොළ, පොල් මල්, පුවක් මල්, පොල් ගෙඩි, මල් වැල්, මල් මාලා ආදී ස්වභාවික ද්‍රව්‍ය ද

තැඹිලි, නිල්, රතු, කොළ හා කහ පැහැ රෙදි හා කඩදාසි කෘතිමව යොදාගත් සැරසිලි ද්‍රව්‍ය ද වේ.


ඇගයීම: 6.1.1 ශාන්ති කර්ම ආශ්‍රිත දෘශ්‍ය කලා අංග අගයමු.

 

1.      අතීතයේ ලාංකේය ජනයා ශාන්තිකර්ම පවත්වනු ලැබූයේ කුමක් අරමුණු කරගෙනද?

2.      ශ්‍රී ලංකාවේ පවත්නා ප්‍රධාන ශාන්තිකර්ම හතරක් වේ. ඒ මොනවාද?

3.      උඩරට නර්තන සම්ප්‍රදාය සමඟ බැඳී පවතින ශාන්තිකර්මය කුමක්ද?

4.      කොහොඹා කංකාරිය ශාන්තිකර්මයේ ප්‍රධාන සැරසිලි අංග මොනවාද?

5.      දෙවොල් මඩුව ශාන්ති කර්මය කුමන නර්තන සම්ප්‍රදායක් හා සම්බන්ධ වූවක් ද ?

6.      දෙවොල් මඩුව ශාන්තිකර්මයේ සැරසිලි සඳහා භාවිතා කරන අමුද්‍රව්‍ය/මාධ්‍ය මොනවාද ?

7.      සබරගමු නර්තන සම්ප්‍රදාය හා සම්බන්ධ ශාන්තිකර්මය කුමක්ද?

8.      සේරමාන් රජුගේ හිසේ අමාරුව පදනම් කරගෙන පවත්වන ලද ශාන්තිකර්ම මොනවාද ?

9.      හින්දු කෝවිල් ආශ්‍රිතව පවත්වනු ලබන ශාන්තිකර්මය කුමක්ද ?

10.  යාග සාලෙයි යනුවෙන් හඳුන්වන්නේ කුමක්ද?