Saturday, February 20, 2021

සිංහල සැරසිලි නිර්මාණ කරණයේ පදනම උගනිමු.

 සැකසුම - අශානි රත්නසූරිය

7.2.1 ක්‍රියාකාරකම

අතීතයේ සැරසිලි මෝස්තර කලාව ආරම්භයේ දී එකල ශිල්පියා ස්වාභාවික පරිසරයේ දක්නට ඇති දේ ඒ ආකාරයෙන් ම ඇඳීම ප්‍රතික්ෂේප කළ අතර එය නිර්මාණාත්මක ව වෙනස් කිරීමකට ලක් කර ඇත. මේ සඳහා බොහෝ විට රේඛාව මුල් කරගෙන නිර්මාණකරනයේ යෙදී ඇත.


යටිපෝරුව

එකල චිත්‍ර ඇඳීම සඳහා භාවිතා කළේ "යටිපෝරුව" නම් උපකරණයයි. මෙය මත "වඩී" නම් ද්‍රව්‍යයක් අතුරා ඒ මත චිත්‍ර ඇඳීම සිදු කරනු ලබයි.

"වඩී" නම් ද්‍රව්‍ය සාදා ගනු ලැබූයේ පොල්කටු අඟුරු පලම් එකයි, සියඹලා ඇට පලම් තුනයි, අවරිය මදට දහයයි, යබොර පලම් දෙකයි යොදාගෙනය. මේ සියල්ල කීකිරිදිය යුෂ වලින් අඹරා තිරිවාන ගල් කුඩු සමග මිශ්‍ර කර යටිපෝරුව මත අතුරා ගනියි.එය හොඳින් වේළුණු පසු උණ බට කැබැල්ලක සවි කල "ඉකිරි කටුවකින්" ඒ මත අදිනු ලබයි.


වකදෙක

පැරණි චිත්‍ර ගුරුවරයා විසින් ශිෂ්‍යයාට මුලින් ම අඳින්න දුන් අභ්‍යාසය වන්නේ වකදෙකයි.සිංහල චිත්‍ර කලා හෝඩිය ආරම්භ වූයේ මෙතැන් සිටය.

ගුරුවරයා විසින් යටි පෝරුව මත ඇඳ දුන් වකදෙක  ශිෂ්‍යයා විසින් නැවත නැවත ඇඳීමෙන් අත හුරු කර ගනී.ඉන් පසු මතකයෙන් නිවැරදිව වකදෙක ඇඳීමට ශිෂ්‍යයාට හැකිවේ.


ලියපත

ගුරුවරයා විසින් උගන්වන ලද වකදෙක වැඩිදියුණු කිරීමෙන් ලියපත නිර්මාණය වී ඇත.



තිරිඟිතලය

වක දෙකෙන් ඇරඹූ අභ්‍යාසයේ අවසන් අදියර වන්නේ, තිරිඟි තලය ඇඳීමයි.ශිෂ්‍යයා මෝස්තර ඇඳීමේ නිපුණයකු බවට පත් වන්නේ මෙම තිරිඟි තලය ඇඳීමෙනි.


වර්ණ

පැරණි ශිල්පීන් වර්ණ පිළියෙල කර ගත්තේ  අමුද්‍රව්‍ය භාවිතා කිරීමෙනි    

  • සුදු පාට - මකුල් නැමැති සුදු පැහැති පස් විශේෂයක්
  •  රතු පාට - සාදිලිංගම් වලින් සාදා ගත් බව කියයි. තවද ගුරු ගල් නැමැති රතු පැහැති පාෂාණ සිනිඳුවට අඹරා රතු වර්ණය සාදාගෙන ඇත.
  •  කහ පාට - ගොකටු ගසේ කිරි භාවිතා කර ඇත .තවද හිරියල් නැමැති මැටි විශේෂයක් භාවිතා කර ඇත .
  •  නිල් පාට - නිල් අවරිය කොළ කොටා ලබා ගත් යුෂ භාවිතා කළ බව කියයි.
  •  කලුපාට - අඳුන් දැලි භාවිතා කර ඇත
  •  කොළ පාට - අගුණ කොළ යුෂ, රණවරා කොළ යුෂ හෝ මිදෙල්ල කොළ යුෂ භාවිතා කර ඇත.

ඉහත සඳහන් වර්ණ දිවුල් ලාටු මිශ්‍රකර වඩාත් උසස් තත්ත්වයකට පත්කර ඇත.පසුව දොරණ තෙල් මිශ්‍ර කොට භාවිතා කර ඇත.


ඇගයීම: 7.2.1 සිංහල සැරසිලි නිර්මාණ කරණයේ පදනම උගනිමු.

  1.  පහත දැක්වෙන වචන විස්තර වන සේ වාක්‍ය බැගින් ලියන්න.     
  • වක දෙක
  • ලියපත
  • තිරිඟි තලය
  • සාදිලිංගම්
  • ගොකටු කිරි

      2.වකදෙක හා ලිය පත රේඛාවෙන් අඳින්න.
      3.යටිපෝරුව නම් උපකරණය මත අතුරා ගන්නා ලද ද්‍රව්‍ය හදුන්වන්නේ කුමන නමකින්ද ?
      4.ඉකිරි කටුව යනුවෙන් හඳුන්වන්නේ කුමක්ද ?
      5.ශිෂ්‍යයා මෝස්තර ඇඳීමේ නිපුණයකු බවට පත් වන්නේ කුමන නිර්මාණය ඇඳීමෙන් ද ?